(ෆාස්ට් නිවුස් | කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(19) බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වූ ජාතික සම්මාන ප්‍රධානෝත්සවය ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.
මෙහිදී ජනාධිපති සුරතින් දේශමාන්‍ය සම්මාන 06ක්, ශ්‍රී ලංකා රත්න සම්මාන 01ක්, දේශබන්දු සම්මාන 10ක්, විද්‍යා ජෝති සම්මාන 06ක්, කලාකීර්ති සම්මාන 09ක්, ශ්‍රී ලංකා ශිඛාමණී සම්මාන 08ක්, විද්‍යා නිධි 03ක්, කලා ශූරි සම්මාන 11ක්, ශ්‍රී ලංකා තිලක සම්මාන 11ක්, වීර ප්‍රතාප සම්මාන 02ක්, ශ්‍රී ලංකා රන්ජන සම්මාන තුනක් අදාළ ක්ෂේත්‍ර උදෙසා අද්වීතීය සේවාවක් කළ උත්තම පුරවැසියන් උදෙසා ප්‍රධානය කරන ලදී.
ශ්‍රී ලාංකිකයන් නොවන එහෙත් මාතෘ භූමියේ හා පොදුවේ මානව වර්ගයා වෙනුවෙන් කළ උත්කෘෂ්ඨ මෙහෙවරට උපහාර වශයෙන් ශ්‍රී ලංකා රත්න සම්මානය ජපන් ජාතික යසුෂි අකාෂි මහතාට පිරිනමන ලද අතර, ශ්‍රී ලංකා රන්ජන යනුවෙන් වූ සම්මාන විශිෂ්ට සේවාවන්ට කැපවූ ශ්‍රී ලාංකික නොවන පුද්ගලයන් තිදෙනකු හට ප්‍රධානය කරන ලදී.
මැති ඇමැතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, ජනාධිපති කාර්යාලයේ උසස් නිලධාරීන්, ජාතික සම්මාන ලාභීන් ඇතුළු විවිධ ක්ෂේත්රයන්හි පුරෝගාමීන් සහ විද්‍යා, කලා, සංස්කෘතික යන ක්ෂේත්රයන් හි නියැලෙන ප්‍රවීණයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගී විය.








