(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයෙක් නම් කිරීම පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින සාකච්ජා සඳහා කිසිදු බාධාවක් නොවන බවත්, සාකච්ජාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කියපු මෛත්‍රී මහත්තයාත් නොවෙන්න පුළුවන් අපේක්ෂකයා, පොහොට්ටුවෙන් කිව්ව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් නොවෙන්න පුළුවන් අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයග්‍රහණ කරන වැඩසටහනේ සියලු පාර්ශවකාරයින් ගන්න අවසාන තීන්දුව තමයි, අවසාන අපේක්ෂකයා තෝරන තීන්දුව බවට පත් වෙන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ තඹුත්තේගම සෝලම ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,
දැන් ඉදිරියේදී එනවා ජනාධිපති මැතිවරණය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඒ අයගේ අපේක්ෂකයා විදිහට කෙනෙක් නම් කළා, ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව කාටවත් දිනන්න පුළුවන්කමක් නෑ. දැන් පොහොට්ටු පක්ෂයේ ඡන්ද ලක්ෂ 50 යි ප්‍රාදේශිය සභා මැතිවරණයේ ඡන්ද, එක්සත් ජාතික පක්ෂය ගත්තොත් ලක්ෂ 35 යි – 40 යි. අපි ගත්තොත් ලක්ෂ 15 යි,අපේ ඡන්ද ලක්ෂ 15 නැතිව කොහොමද කවුරු හරි දිනන්නේ.මෙවර ජනාධිපතිවරණයට ඡන්ද ලක්ෂ 130 ක් වැටෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.ජනාධිපතිවරයා වෙන්න 50% කුත් එක ඡන්දයක් ඕන. ඒ කියන්නේ හැටපන් ලක්ෂ එකක් ජන්දයක් ගන්න ඕන ජනාධිපතිවරයා වෙන්න.හැබැයි මේ රටේ තියෙන ප්‍රධාන පක්ෂ 03 ගත්තම මේ පක්ෂ 03 හිම ඡන්ද වල තනි අයිතිය ගත්තොත් කාටද ඡන්ද ලක්ෂ 65 ක් තියෙන්නේ.කාටවත්ම නෑනේ. පොහොට්ටුවට අපි එකතු වුණොත් තමයි ලක්ෂ 65 ක් වෙන්නේ, යූ.එන්.පී එකට ගත්තොත් අපි එකතු වුණොත් තමයි ලක්ෂ 50 වෙන්නේ.
අපි තනියම ඉල්ලුවොත් එහෙම අපිට ලක්ෂ 65 ක් හදා ගන්න, තව ලක්ෂ 50 ක් ඕන. එහෙම නම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි තීරණාත්මක බලවේගය වෙලා තියෙන්නේ .ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපතිවරයා කවුද කියන එක තෝරන්න තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැසිරීමත් එක්ක.එහෙම නම් අද අපි ගමේ සුළු පිරිස වුණත් මේ පිරිසේ ඡන්ද ටික නැතිව මේ රටේ තනි පක්ෂයකට ජනාධිපතිවරයෙක් හදා ගන්න පුළුවන්කමක් නෑ.මේ තියෙන වකවාණුව තුළ අපි සුළු කණ්ඩායමක් වුණත්, අපි එකට හිටියම, අපි ශක්තිමත්ව හිටියම, අපිට නේද වැඩිම වටිනාකමක් තියෙන්නේ,බහුතරය තිබ්බත් වැඩක් තියෙනවාද අවශ්‍යය පිරිස ගලප්පා ගන්න ඕන චූටි කොටස හරි නැත්නම්, බහුතරයෙන් වටිනාකමක් නෑ. බහුතරය කොච්චර තිබුණත් තීරණාත්මක බලවේගයට තමයි මෙවර වැඩිම බලයක් තියෙන්නේ, ඒ සියලු දෙනා හැසිරවීමේ, පාලනය කිරීමේ හා තීන්දු තීරණ ගැනීමේදී.
ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට මොනම අවස්ථාවකවත් වැටෙන්න, බෙදෙන්න, කළකිරෙන්න අවශ්‍යතාවක් නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වගේම ඉතිහාසයේත් වුණා.බණ්ඩාරනායක මහත්තයා මේ පක්ෂය හදලා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මේ පක්ෂය පෝෂණය කරලා, එතුමියගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය පක්ෂයත් එක්ක තරහා වෙලා ගිහින් වෙනම පක්ෂයක් හදනවා.අනුර බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයට යනවා.පක්ෂයෙ නිර්මාතෘගේ ළමයි දෙන්නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතෑරලා යනවා.ඒ කාලවල් වල අපිට අමාරුකම් තිබුණා, අපි මන්ත්‍රීවරු හතට – අටට බැස්සා.අපේ පක්ෂ මූලස්ථානය අල්ලා ගත්තා වෙන කට්ටිය,අපිට පක්ෂ මූලස්ථානය නැතිව ටකරන් සම්මේලනය තියලා තමයි පක්ෂයේ වැඩකටයුතු ආරම්භ කලේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ කියන අමාරු කාළවල් අපට මහා ලොකු දේවල් නෙමෙයි.ඉතිහාසයේ අපි මේවා විඳලා තියෙනවා, ඉතිහාසයේ අපි මේවා වින්ඳා කියලා අපි වැටිලා නෑ, නැවත වතාවක් අපි නැගිටලා තියෙනවා.
බණ්ඩාරනායක මහත්මයාගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පක්ෂය කඩාගෙන ගිහින් වෙනත් පක්ෂයක් හදනවා.හැබැයි අවසානයේ ඒ කණ්ඩායම කොහෙද නවතින්නේ.අද ඒ හදා ගත්ත පක්ෂ නෑ.එදා විජය නැති වුණාට පස්සේ ඒ පක්ෂත් නෑ, මෙලෝ දෙයක් නෑ අවසානයේ අපේ මහ ගෙදරට එනවා.ඒ නිසා තමයි මම , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කාළයේ කිව්වේ අපේ පක්ෂයෙන්, ඈත් වෙලා -තරහා වෙලා ගියපු කට්ටිය මහ ගෙදරට එන්න වැඩි කාළයක් යන්නෙ නෑ, අපි හැමෝටම අවසානයේ ඉතිරි වෙන්නේ මහ ගෙදර මිසක්, වෙනත් තැනක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපේ ගම් වල සමහර අයත් තරහා වෙලා නැන්දලාගේ, සීයලාගේ ගෙදර යනවා, ගමෙන් යනවා.හැබැයි අවසානයේ මහ ගෙදර- මහගෙදරමනේ.ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි ශක්තිමත්ව මේ ගමන යන්න සූදානම් වෙන්න.අපි බෙදෙන්න ඕන නෑ, හදිස්සි වෙන්න ඕන නෑ
දැන් පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා නම් කරපුවහම මේ රටේ සමහර අය හිතන් හිටියා ශ්‍රී ලංකාකාරයෝ සේරම ගිහින් පොහොට්ටුවේ හිටගනියි කියලා.ශ්‍රී ලංකාකාරයොන්ට ඕනකමක් තියෙනවාද පොහොට්ටුවේ ගිහින් නිකං හිටගන්න.අර ඉන්න ලැයිස්තුවේ අවසානයෙන් හිටගන්න ඕනකමක් තියෙනවාද? හැබැයි අපි එකට ඉඳලා අපි අපේ බලයත් එක්ක සම්බන්ධ වුණොත්, ඒ බලය තියෙන කණ්ඩායමට තමයි මේක හැසිරවීමේ හා පාලනය කිරීමේ බලය ලැබෙන්නේ. එහෙම නම් මේ අය බලාපොරොත්තු වුණ විදිහට මේ හැමදේම සිද්ධ වුණේ නෑ.ඒ අය බලාපොරොත්තු වුණ විදිහට රබන් ගැහුවේ නෑ, සිංහ කොඩි අරන් පාරේ ගියේ නෑ, කිරිබත් කෑවේ නෑ, රතිඤ්ඤා පත්තු කලෙත් නෑ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පාක්ෂිකයින්ගෙන් අපි ඉල්ලීමක් කරන්නේ අපි ඉදිරියේදී තීන්දුවක් ගන්නවා පක්ෂයක් ලෙස අපි මොකක්ද කළ යුත්තේ කියලා. අපි පොහොට්ටුවත් සමඟ සාකච්ජා පවත්වාගෙන යනවා.ජනාධිපතිතුමා එක වතාවක් මහින්ද මහත්තයාව මුණ ගැහුණා. ඉදිරියේදී තව වතාවක්- දෙවතාවක් මුණ ගැහෙයි.ඊළඟට නිළධාරී මණ්ඩලය විදිහට අපි මුණ ගැහෙයි.අපි කොහොමද එකඟතාවක් හදාගන්නේ කියලා අපි කථා බහ කරයි.ජනාධිපතිතුමා හා අපි ඉතාම පැහැදිලිව කියන දෙයක් තමයි අපිට දැන් අවශ්‍යය කරන්නේ අවහල් නායකයාගේ පස්සේ යන්නවත්, අහවල් නායකයා කියන කෙරුවාව අහන්නවත්, ඉතිහාසයේ කරපු දේවල් වලට යටවෙන්නවත් නෙමෙයි.වර්ථමානයේ මේ රට පත් වෙලා තියෙන තැනින් රට ගොඩ ගන්න මොකක්ද වැඩපිළිවෙල, ඒ වැඩපිළිවෙල වෙනුවෙන් තමයි අපි මේ රට ඉස්සරහට ගෙනියන්න ඕනකම තියෙන්නේ.එහෙම නැතිව වැඩපිළිවෙලක් නැතිව, ක්‍රමවේදයක් නැතිව ආයේ පාරක් අපිට පුළුවන්ද අමාරුවේ වැටෙන්න.ඒ නිසා රට දිනන වැඩ පිළිවෙලක් තියෙන්න ඕනකම තියෙනවා.
තව සති දෙක -තුනක් යන කල් ඔබතුමන්ලා දේශපාලන කථා බහ කරන්න. හැබැයි තීන්දු තීරණ ගන්න අවශ්‍යය නෑ.අපි පක්ෂයක් විදිහට ඒ කියන කණ්ඩායම් එක්ක සාකච්ජා කරලා ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය, හොඳම තීන්දුව අපි සූදානම් කරන්නම්.ඒ තීන්දුව ගත්තට පස්සේ අපි ඔබතුමන්ලාව දැනුවත් කරන්නම් ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂය විදිහට මේක තමයි අපේ තීන්දුව කියලා, ඔබතුමන්ලා ඒ තීන්දුව පිළි ගන්නවා නම් ඔබතුමන්ලාට ශ්‍රී ලංකා එකේ ඉන්න පුළුවන්, එහෙම බැරි නම් කාට හරි තේරෙනවා නම් ඒ වැඩේ වැරදියි කියලා.තමන්ට කැමති තමන් හොඳයි කියලා හිතෙන දෙයක් තෝරා ගන්න ඔයාලට අවස්ථාව තියෙනවා.
හැබැයි දැන් අපි කළබල වෙන්න අවශ්‍යය නෑ.පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා නම් කරපු එක මේ සාකච්ජා වලට බාධාවක්ද කියලා අහනවා, මම නම් කියන්නේ කිසිම බාධාවක් නෑ. මම අදටත් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියලා.එතකොට ශ්‍රී ලංකා එකෙන් කියනවා ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියලා, පොහොට්ටුවෙන් කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා, විමල් වීරවංශගේ පක්ෂයෙන් තව කෙනෙක්ගේ නමක් කිව්වොත්, දිනේෂ් ගුණවර්ධන මහත්තයාට, වාසූ දේව මහත්තයාට පක්ෂ තියෙනවා.
අපි හැමෝම එකතු වෙලා සාකච්ජා කරන කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කියපු මෛත්‍රී මහත්තයාත් නොවෙන්න පුළුවන් අපේක්ෂකයා, පොහොට්ටුවෙන් කිව්ව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් නොවෙන්න පුළුවන් අපේක්ෂකයා.
සමහර විට අපි හැමෝම එකතු වෙලා එක තීන්දුවක් දෙන්න පුළුවන් හැමෝටම මධ්‍යස්ථව සහය දෙන්න පුළුවන් මේ රටේ ජනාධිපති අපේක්ෂකයා දිනේෂ් ගුණවර්ධන කියලත් අපිට හිතෙන්න පුළුවන්, තීන්දු වෙන්නත් පුළුවන්.නැත්නම් එහෙම නෑ මේ රටේ හොඳම අපේක්ෂකයා, සන්ධාන ගත වෙලා දිනන්න පුළුවන් අපේක්ෂකයා විමල් වීරවංශ කියලා එන්නත් පුළුවන් සමහර වෙලාවට.ඒ නිසා මම කිව්වේ පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් නම් කළා කියලා මේ සාකච්ජා වලට කිසිම බාධාවක් නෑ.ජනාධිපතිවරණය ජයග්‍රහණ කරන වැඩසටහනේ සියලු පාර්ශවකාරයින් ගන්න අවසාන තීන්දුව තමයි, අවසාන අපේක්ෂකයා තෝරන තීන්දුව බවට පත් වෙන්නේ.
රටේ ජනාධිපති විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපි කිව්වට මෛත්‍රී මහත්තයා කියලා, එයා වත්මන් ජනාධිපති වෙලත් එතුමා නෙමෙයි නම් තීන්දුව, වෙන පක්ෂයකින් නම් කරන කෙනෙත් නොවෙන්න පුළුවන් තීන්දුව.
පොදුවේ එකඟතාවක් හදාගෙන ගන්න තීන්දුව වෙන්න පුළුවන් අවසන් තීන්දුව.හැබැයි පක්ෂයකට අයිතියක් තියෙනවා තමන්ගේ අපේක්ෂකයා කවුද කියන එක නම් කර ගැනීමේ අවස්ථාවක් තියෙනවා.ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි ශක්තිමත්ව ඉමු,මේක අපිට පොඩි අපල කාළයක් තමයි.අපල හැමදාම තියෙන්නෙ නෑ.සමහර වෙලාවට අර අමාරුම කාළයෙන් පස්සේ එන්නේ හොඳම කාළය.
හැබැයි අමාරු කාළයේ ටිකක් අමාරුයි.අමාරු කාළයේ හොඳටම අමාරුයි.හැබැයි හැම අමාරු කාළයකටම පස්සේ හොඳ කාලයක් එනවා.ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරියේදී ඒ හොඳ කාලයක් එනවා.ඒ නිසයි මම කිව්වේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා තීන්දු කරන්නේ වෙන කවුරුත් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.
එහෙම තීන්දු කරපුවහම ඒ සියලු බලය ලැබෙන්නේ අද පොඩ්ඩක් වුණත් ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට ඒ හයිය, වටිනාකම, ගෞරවය ලැබෙන්නේ.ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, පාක්ෂිකයන්ට හොඳ කාලයක් තියෙනවා, කළබල වෙන්න එපා කළ කිරෙන්න එපා.අමාරු කාළ ආවම අපි අමාරුවෙන් දරාගෙන ඉමු.ඒ දරා ගැනීමත් එක්ක තමයි අපිට සියලු ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්කම තියෙන්නෙ යැයි පැවසීය.








