FAST NEWS

24×7 Around the Globe

පොලිස් ප්‍රධානීන් 50කට ස්ථාන මාරුවීම්

(ෆාස්ට්නිව්ස් |කොළඹ) – පොලිස් ස්ථානාධිපතිගේ සිට නියෝජ්‍ය පොලිස්පති දක්වා නිලධාරීන් 50කට අදාළ ස්ථාන මාරු නියෝග වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා විසින් නිකුත් කර තිබේ.

වෛද්‍ය සාෆි විමර්ශනය සම්බන්ධයෙන් ස්ථාන මාරු කිරීමට නිර්දේශ වූ කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතාගේ ස්ථාන මාරුව ද ඒ අතර වෙයි. මහින්ද දිසානායක මහතා කන්තලේ කොට්ඨාස භාර නිලධාරියා ලෙස පත් කර ඇති අතර කන්තලේ කොට්ඨාස භාරව සිටි ජෙයෂ්ඨ පොලිස් අධිකාරී ජේ ඒ යූ පී ජයසිංහ මහතා කුරුණෑගල කොට්ඨාස භාර නිලධාරියා ලෙස පත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති බී ආර් එස් ආර් නාලහමුල්ල මහතා ත‍්‍රිකුණාමල දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති අතර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ සිටි නියෝජ්‍ය පොලිස්පති පී කේ ඩී ප‍්‍රියන්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති සහ මූල්‍ය අපරාධ විමර්ශන දිසාව භාව නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර හි බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයකු වන දැනට රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නීති විනය හා කල්ක‍්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

විනය, කල්ක‍්‍රියා කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස සිටි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීතීඥ රුවන් ගුණසේකර මහතා පොලිස් මාධ්‍ය හා මහමජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කර ඇති අතර විනය හා කල්ක‍්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කොළඹ වංචා විමර්ශන ආර්යංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී එම් ඒ ඒ ආර් පේ‍්‍රමරත්න මහතා පත් කර ඇත.