(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාසල් නායකත්වය සඳහා විදුහල්පතිවරුන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබාදී ශ්‍රී ලංකාවේ විදුහල්පති භූමිකාවේ විප්ලවීය වෙනසක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව , ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව 111 පන්තියේ සිට 1 පන්තිය දක්වා උසස්වීම් සඳහා අවශ්‍යතා සපුරා ගැනීමේ ධාරිතා සංවර්ධන පාඨමාලාව වශයෙන් විදුහල්පතිවරුන් වෙනුවෙන් මාසික සේවාස්ථ පුහුණු පාඨමාලාවක් මේ වන විට පැවැත්වේ.
මෙම පුහුණු පාඨමාලාවට අදාළව විදුහල්පති සේවයේ 111 පන්තියේ විදුහල්පතිවරුන් දහසක් මේ වර්ෂයේ දී පුහුණු කෙරේ.
ඇතැම් පාසල්වල සිදුවන මුල්‍ය වංචා, පරිපාලන ගැටලු, පාසලේ දී සිසුන් මුහුණ පාන හදිසි අනතුරු ඇතුලු වරින්වර නැඟෙන චෝදනා සම්බන්ධයෙන් තෝරාගත් විදුහල් දහයක සිදුකරන ලද ඇගයීම් වැඩසටහනේ දී මෙවැනි පුහුණුවක අවශ්‍යතාව අවධාරණය වී තිබේ.
ගුණාත්මක පාසල් පාලනය, ධනාත්මක පාසල් පරිපාලනය, සඵලදායී පාසල් කළමනාකරණය හා ගුණාත්මක ඉගෙනුම් ඵල යන නිපුණතා හතර පදනම් කර ගෙන නිපුණතා ප්‍රමිති හැට හතරක් සම්බන්ධයෙන් මෙම වැඩසටහනේ දී විශේෂඥ දැනුමක් විදුහල්පතිවරුන්ට ලබාදෙයි.








