කසල මෙරටට ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගය ඉල්ලු පෙත්සම කල් තැබේ

කසල මෙරටට ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගය ඉල්ලු පෙත්සම කල් තැබේ

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ඉදිරියේදී කිසිදු විදෙස් රටකින් කසල මෙරටට ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද, යළිත් එරටට යැවීමට නියෝග කරන ලෙසද, ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම සැප්තැම්බර් 22 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (31) තීන්දු කළේය.

එසේම කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන, එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසල එම ස්ථානයන්හි පරිසරයට හානි නොවන ලෙස පවතින ආකරයෙන්ම තබා ගන්නා ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක්ද නිකුත් කළේය.

පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සමක අභියාචනාධිකරණය හමුවේ කැදවූ අතර එහිදී මෙම නියෝග නිකුත් කළේය.

අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැදවිණි.

පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති නම් කරනු ලැබ ඇත.

CATEGORIES