(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සොයා බැලෙන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ බුද්ධි අංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් අද (24) සාක්ෂි ලබාදීමට නියමිතව ඇත.
පෙරවරු 10.30 සිට පස්වරු 6.30 දක්වා තේරීම්කාරක සභාවේ සාක්ෂි විමසීමේ කටයුතු සිදුකෙරෙනු ලැබේ.
අද දිනයේදී මෙම සාක්ෂි විමසීම වාර්තා කිරීම සදහා මාධ්‍යයට ඉඩ ලබා නොදීමට කාරක සභාව තීරණය කර ඇත.
පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට අද කැදවනු ලැබ සිටින්නේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක තරංග පතිරණයි.
එම නිලධාරීන්ගේ ඡායාරූප ගැනීම සහ ඔවුන්ගේ පැමිණීම සහ පිටවීම වීඩියෝගත කිරීම ද තහනම් කර තිබේ.
කාරක සභාවේ විමර්ශන කටයුතු මේ මාසයේදී අවසන් කිරීමට නියමිත අතර එහි අවසන් වාර්තාව අගෝස්තු 23 වනදා නිකුත් කිරීමට නියමිතව තිබේ.








