FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ 05 – ශිෂ්‍යත්වය 04 වැනිදා

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 05 වැනිදා සිට 2019 අගෝස්තු මස 31දා දක්වාත් 05 වසර ශිෂ්‍යත්ව විභාගය 2019 අගෝස්තු මස 04 දාත් පැවැත්වෙන බව විභාග දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියි.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ සඳහා අයැදුම්කරුවන් 337,704 දෙනකු පෙනී සිටීමට නියමිතව ඇති අතර නව නිර්දේශය සඳහා අයැදුම්කරුවන් 198,229 දෙනකු හා පැරැණි නිර්දේශය සඳහා අයැදුම්කරුවෝ 139,475 දෙනෙක් පෙනී සිටිති.

අපොස උසස් පෙළ විභාග මධ්‍යස්ථාන 2678කදී පැවැත්වෙන අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 315ක් විවෘතව පවතින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්කරුවෝ 339,369ක් පෙනී සිටිති.

එම විභාගය මධ්‍යස්ථාන 2,995කදී පැවැත්වෙන අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 497ක් විවෘතව පවතී.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල අයැදුම්කරුවන් 225,529ක්ද දෙමළ අයැදුම්කරුවන් 83,840ක්ද පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2019 අපොස උසස් පෙළ විභාගයට අදාළව 2019.07.30 දින මධ්‍යම රාත්‍රි 12 සිට සම්පූර්ණ විභාගය අවසන් වන තෙක් සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව 2019.7.31දා මධ්‍යම රාත්‍රි 12 සිට විභාගය අවසන් වන තෙක් විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශනා, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, උක්ත විභාග සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.