(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පිරිමින්ට වැලඳෙන මුඛ පිළිකාවලින් ලෝකයේ අංක 01 ට ශ්‍රී ලංකාව පත්ව ඇති බව වාර්තාවල සදහන් වේ.
ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා හා සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්ෂික සෞඛ්‍ය දර්ශකය මගින් එය පෙන්වා දී ඇති බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පැවසීය.
දුම්කොළ සමග බුලත්විට කෑම ඊට ප්‍රධානතම හේතුව වී ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.
වයස 75 ට අඩු පිරිමි පුද්ගලයන් 22,000 ක් පමණ දුම් පානය හේතුවෙන් වාර්ෂිකව මියයන බවත් , 2017 දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාව තුළ දුම් පානය කිරීමේ පිරිමි ප්‍රතිශතය 25 % කට වැඩි අගයක් ගන්නා බව ද වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පැවසීය.
මේ අතර, දුම්කොළ භාවිතයෙන් වැලඳෙන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකාව විසින් වාර්ෂිකව රුපියල් බිලියන 200 ක් පමණ වැය කරන බවට බෝ නොවන රෝග ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතාද පෙන්වා දුන්නේය.
දුම්වැටි දුමෙහි විෂ වර්ග 4,000 ක් සහ පිළිකා කාරක 43 ක් අඩංගු වන බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පෙන්වා දෙයි.
ඒ අනුව පෙණහලු, මුඛ, ස්වරාලය, උගුර, ගලනාලය, මුත්‍රාශය, වකුගඩු, අග්න්‍යාශය, අක්මාව හා ගැබ්ගෙල ආශ්රිත වැලදෙන පිළිකා මෙන්ම ලිංගික බෙලහීනතාවද, එසේම එම්ෆිසීමා, ඇදුම, බ්‍රොන්කයිටීස්, පෙණහලු ආසාදනය මෙන්ම හුස්ම ගැනීම අපහසු කරවන දීර්ඝ කාලීනව පවතින පෙණහලු රෝගී තත්ත්වයන්ද ඇතිවිය හැක.








