FAST NEWS

24×7 Around the Globe

බීමතින් රිය පැදවීමෙන් වළකින්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්නේ ජනතාවගේ යහපතට බවත්, බීමත් රියදුරන් නිසා සිදුවන රථවාහන අනතුරු අවම කිරීමට බවත් ඔහු අවධාරණය කරයි.

ජූලි 05 වනදා සිට මාසයක කාලයක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙයි.

ජූලි 13 වන දින සිට 14 වනදා පෙරවරු 6.00 දක්වා පැය 24 ක කාලය තුළදී බීමත් රියදුරන් 335 ක් අත්අඩංගුවට ගෙන ඇත.

සාමාන්‍ය වාහනයක රියදුරෙකු බීමත්ව රිය පදවා හසුවී අධිකරණය ඉදිරියේ වැරදිකරුවෙකු වූ විට රුපියල් 25,000 ත් 30,000 ත් අතර දඩ මුදලක් හෝ මාස 03 කට නොවැඩි සිර දඩුවමකට හෝ එසේත්නො මැති නම් දඩ මුදල සහ සිර දඩුවම යන දෙකම අධිකරණය විසින් නියම කරයි.

එම දඩුවම් දෙකට අමතරව අදාල රියදුරුගේ රියදුරු බලපත්‍රය මාස 12 කට නොවැඩි කාලයකට අත්හිටුවීමකට ද ලක් කරනු ඇත.

මගී ප්‍රවාහන වාහනයක රියදුරෙකු බීමත්ව රිය පදවා හසුවී අධිකරණය ඉදිරියේ වැරදිකරුවෙකු වූ විට රුපියල් 25,000 ත් 30,000ත් අතර දඩ මුදලක් හෝ මාස 06 කට නොවැඩි සිර දඩුවමකට හෝ එසේත්  නොමැති නම් දඩ මුදල සහ සිර දඩුවම යන දෙකම අධිකරණය මගින් ඔහුට ලබාදෙනු ලබයි.

එම දඩුවම් දෙකට අමතරව එම මගී ප්‍රවාහන වාහනයේ බීමත්ව රිය පදවන ලද රියදුරුගේ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමක්ද සිදුකරනු ඇත.

බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකර අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වූ අවස්ථාවක රිය අනතුර සිදුකිරීම සම්බන්ධයෙන් ලැබෙන දඩුවමට අමතර වශයෙන් බීමත්ව රියපැදවීම සම්බන්ධයෙන් රුපියල් ලක්ෂයක් සහ ලක්ෂ එකහමාරක් අතර දඩ මුදලකට යටත් වීමට අදාල රියදුරුට සිදුවනු ඇත..

ඊට අමතරව එම දඩය හෝ අවුරුදු 02 ත් අවුරුදු 10ත් අතර කාලය සදහා සිර දඩුවමක් හෝ දඩය සහ සිර දඩුවම යන දෙකටම යටත් වීමට අදාල රියදුරු හට සිදුවනු ඇත. එමෙන්ම බීමත්ව රිය පදවා රිය අනතුරු සිදුකළ රියදුරුගේ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමකටද ලක්වේ.

එහෙයින් බීමත්ව රිය පැදවීමෙන් වැළකීසිටින ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.