(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි පෙත්සම සලකා බැලීම ලබන 25 වැනිදා දක්වා කල්තබා ඇති බව වාර්තා වෙයි.
………………………………………………………………………………………………………………………………………………………………………………………………….
(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු කිරීම පැහැර හැරීම තුලින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන ,එල්. ටී. බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් මෙම විනිසුරු මඩුල්ල සමන්විත වෙයි.
එම ප‍්‍රහාරයේ සිය දරු දෙදෙනා අහිමිවූ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි නන්දන සිරිමාන්න, සංචාරක කර්මාන්තයේ නියැළි ව්‍යාපාරික ජනත් විදානගේ, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, හෙන්රි මේරියන් අශෝක් ස්ටීවන්, සරත් ඉද්දමල්ගොඩ සහ හේල් එවන්ස්ටන් ප‍්‍රනාන්දු ජයවර්ධන යන පියතුමන්ලා, නාගානන්ද කොඩිතුවක්කු, ජූඞ් පෙරේරා, නිමල් කුමාරසිරි ඇතුළු පුරවැසියන් පිරිසක්ද, පූජ්‍ය අගුළුගල්ලේ ජිනානන්ද හිමි සහ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සිදුවූ පිපිරීම් වලින් තුවාල ලැබූ නීතිඥවරයෙකු වන මුදිත ඒකනායක මහතා ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්හි වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ නියෝජ්‍ය පොලිස්පති ශ්‍රී ලාල් දිසානායක සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.








