(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වී ඇති බව කියමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 10 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කරන ලදී.
මෙම පෙත්සම අද (11) බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවුණි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක බරපතළ සිර දඬුවම් නියම කළ අභියාචනාධිකරණය එම දඬුවම වසර හයකින් ගෙවිය යුතු බවට නියෝගයක් නිකුත් කළ බවත් ,එවැනි බරපතළ චෝදනාවක් ලැබූ පුද්ගලයකුට සමාව ප්‍රදානය කර නිදහස් කර හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක් සිදුවන බව අදාළ පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන්ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.








