FAST NEWS

24×7 Around the Globe

ගුරුවරු සහ විදුහල්පතිවරු ජුලි 18 – 19 අසනීප නිවාඩු

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ඊයේ (10) මාධ්‍ය හමුවකදී පැවසුවාය.

ජුලි මස 18,19 යන දෙදින මෙලෙස අසනීප නිවාඩු වාර්තා කිරීමට නියමිතව ඇත.

බි.සී.පෙරේරා වැටුප් විෂමතා කමිටු නිර්දේශය පරිදි වැටුප් විෂමතා ඉවත් නොකිරීම, අධ්‍යාපනය සඳහා පොරොන්දු වූ පරිදි 6% ක මුදලක් වෙන් නොකිරීම, 2016 වසරේ සිට ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව සහ ඉගැන්වීමේ ක්‍රියාවලියට අමතරව ගුරුවරුන් ලවා සිදුකරන අනවශ්‍ය කොළ පිරවීමට එරෙහිව මෙලෙස වැඩ වර්ජනයේ නිරත වීමට තීරණය කර තිබේ.

වැඩිදුරටත් මේ සම්බන්ධයෙන අදහස් දැක්වූ වසන්තා හදපාන්ගොඩ මහත්මිය ,

‘‘අපි ගුරු විදුහල්පතිවරුන්ගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ඉතිහාසය පුරා දිගින් දිගටම සටන් කළා.අපි කිසි අවස්ථාවක ගුරුවරුන්ගේ සටන්, ඉල්ලීම් පවා දීලා නැහැ. සමහර අවස්ථාවල සටනට විරාමයක් දුන්නා. රටේ පැවතුන තත්වය අනුව සාමය ආරක්ෂා කර ගැනීමට. ඉල්ලීම් දිනා ගැනීම සඳහා දිගින් දිගටම කටයතු කළා. ගුරු විදුහල්පතිවරුන්ට ගැටළු කිහපයක් තියෙනවා.

එකක් තමයි වැටුප් විෂමතා ඉවත්කර ගැනීම බි.සි.පෙරේරා වැටුප් විෂමතා වාර්තාව අනුව වසර වසර 22 ක් ගතවුනත් වැටුප් විෂමතා ඉවත් කරලා නැහැ.

අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරනවා කියලා බලයට ආවත් මේ දේවල් රජය මෙතෙක් ඉටු කළේ නැහැ.ඒ වාගේම 2016 න් පස්සේ ගුරුවරුන් ලෙස බඳවා ගත් අයට විශ්‍රාම වැටුප් හිමිකම අහිමි කළා. 2001 බලයට ආපු එක්සත් ජාතික පක්ෂ රජය මේ දෙයම එදත් කළා.

මේ නිසා අපි ජුලි මාසයේ 18 සහ 19 අසනීප නිවාඩු දමා සේවයෙන් බැහැර වීමට තීරණය කර තිබෙනවා. මේ සඳහා සියළු ගුරු වෘත්තීය සංගම්වල සහාය ලැබෙන බවද ඇය මෙහිදී පැවසුවාය.