FAST NEWS

24×7 Around the Globe

රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටි සියලු පීඨ වැසෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර තිබේ.

අද (10) පෙරවරුවේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා සහ සියලු පීඨාධිපතිවරුන් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

ඊයේ (09) දිනයේ එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කළහාකාරි ලෙස හැසිරෙමින් එහි දේපළවලට හානි කර සේවකයින්ට පහර දීමේ සිද්ධින් කිහිපයක් වාර්තාවීම හේතුවෙන් සෙසු සිසුන්ගේ සහ සේවකයින්ගේ ආරක්ෂාව සඳහා මෙම තීරණයට එළැඹී බව එහි පාලනාධිකාරීය කියයි.

සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අවහිර කරමින් විරෝධතාවයක නිරත වූයේ, එහි ආරක්ෂාව සඳහා ගත් ඇතැම් ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමිනි.

මේ අතර විශ්වවිද්‍යාලය වසා දැමීමත් සමග එහි නේවාසිකාගාරවල සිටින සිසුන්ට ඉන් පිටවන්නැයි විශ්වවිද්‍යාල පරිපාලනය දැනුම් දී තිබේ.