FAST NEWS

24×7 Around the Globe

සන්ධ්‍යාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම කල් යයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට කල් ලබා දී ඇත.

ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් සිය මූලික අයිතීන් කඩ වන බව සඳහන් කරමින් ඇය මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.

අදාළ පෙත්සම අද (10) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ වගඋත්තරකරුවන්ගේ උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කාලය ලබා දෙන ලෙසයි.

එමෙන්ම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින නීතිපති, ජනාධිපති ලේකම්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පාර්ශව කීපයක් වෙත නොතීසි යවන ලෙස ද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කියා සිටියේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම කර එය වසර හයකින් ගෙවිය යුතු බවට තීන්දුවක් ලබා දුන්නත් එවැනි චෝදනා එල්ල වූ අයෙකුට ජනාධිපති සමාව ලබාදීම තුළින් ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද එක්නැලිගොඩ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.