FAST NEWS

24×7 Around the Globe

අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසු මහනාමට සහ පියදාසට ඇප

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජනාධිපතිවරයාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එච්.කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියම කර ඇත.

රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වෙයි.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එක් විත්තිකරුවෙකුට රුපියල් ලක්ෂ 05ක මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට එහිදී නියම කළේය.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදිය යුතු බවටද නියම කළේය.

ලබන 22 වනදා නඩුව නැවත කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින පැමිණිල්ල විසින් ලබාදුන් ලේඛනවල යම් අඩුපාඩුවක් තිබේ නම් එදින ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කරන මෙන් විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මීළඟ නඩු දිනයේ අදාළ හඩ පට අධිකරණය හමුවේ විවෘත කිරීමට අවසර ලබා දුන්නේය.

2018 වසරේ මැයි මස නව වනදා හෝ ඊට ආසන්න දිනයක කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. කේ මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.