FAST NEWS

24×7 Around the Globe

ගුරු විදුහල්පතිවරු ලෙඩ වීමට යති

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතරකට බලකරමින් සියලුම ගුරු වෘත්තිය සමිති ජූලි 18 සහ 19 දෙදින ලෙඩ නිවාඩු දමමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ ගුරුවරුන්ගේ සංගමය කියයි.

මේ අනුව දිවයින පුරා සිටින ගුරු හා විදුහල්පතිවරුන් මෙකී වෘත්තිය ක්‍රියාමාර්ගයට සහාය දක්වනු ඇති බවත් එයින්ද විසදුම් නොලැබෙන්නේ නම් දෙවන වාරය තුළ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව එම සංගමයේ ලේකම් ෂෙහාන් දිසානායක මහතා පැවසීය.

මාර්තු 30 වැනිදා මෙරට සියළුම ගුරුවරුන් හා විදුහල්පතිවරුන් නියෝජනය කරන වෘත්තිය සමිතිවල සහභගීත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී මෙකී තීරණය ගත් බවද හෙතෙම කීවේය.

1997 වසරේදී රාජ්‍ය සේවයේ වැටුප් කළමණාකරණය කිරීම සදහා පත්කළ බී.සී.පෙරේරා කමිටුව මගින් ගුරු විදුහල්පති වැටුප් කළමණාකරණය කරමින් විෂමතා සහිත කළමණාකරණයක් සිදුකර ඇති බවත් මෙකී විෂමතාව ඉවත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පවා නිර්දේශ කර තිබියදී රජය විෂමතාව ඉවත් කර නැති බවත් මෙය වෘත්තිය ක්‍රියාමාර්ගයට හේතුවූ මූලික කාරණය බවත් කීය.

එමෙන්ම රටේ දළ දේශීය ආදායමින් 6%ක ප්‍රමාණයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කිරීම,2015 වසරේදී අහෝසි කළ විශ්‍රාම වැටුප් ක්‍රමය නැවත ලබාදීම,දරුවන්ගේ අධ්‍යාපනයට බාධා වන ආකාරයෙන් ගුරුවරුන් ලවා සිදුකරගන්නා ලියවිලි නතර කිරීම යන ඉල්ලීම්ද ඇතුළුව ඉල්ලීම් හතරක් මුල්කරගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකිරීමට සැලසුම් කර ඇති බව එ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.