(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් ප්රමුඛ ලක්ෂ සංඛ්‍යාත තරුණ ජීවිත බිලිගනිමින් දිනෙන් දින ව්‍යාප්තවන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම වළක්වමින් ජාතියේ සහ මතු පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව, ලංකාපුර විජිත මහා විද්‍යාලයේ අද (28) පෙරවරුවේ පැවති උත්සවයකදීයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සිව් දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීම සඳහා තමා මේ වන විට අත්සන් තබා ඇති අතර ඊට විරුද්ධව කථා කරන සියලු පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සහය වන්නන් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
මරණීය දණ්ඩනය ලබාදීමට තමා අත්සන් තැබුවේ කිසිවෙකු කෙරෙහි වෛරයෙන් හෝ ක්‍රෝධයෙන් නොව මෙම දරුණු සමාජ ව්‍යසනයෙන් ජාතිය සහ මතු පරපුර බේරාගැනීම වෙනුවෙන් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන තමා අද ඊයේ ආරම්භ කළ එකක් නොවන බවත් , මෙම දරුණු සමාජ ව්‍යසනයෙන් ජාතිය ගලවා ගැනීම තමා ආරම්භ කළ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් බවත් එම ගමනේ දී විවිධ බාධා එල්ල වූ අතරම ජනාධිපතිවරයා ලෙස සියලුදෙනාගේ සහයෝගයන් එම වැඩපිළිවෙල අද සාර්ථක අවසානයක් කරා මෙහෙයවමින් සිටින බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේය.









