(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා අධිකරණයට අපහාස කළ බව කියන පෙත්සම් සලකා බැලීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද අබෲ ඉවත් වු බව අප අධිකරණ වාර්තාකරු පවසයි.
මෙම පැමිණිල්ල අද (28) සලකා බැලීම සඳහා සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.
එහිදී විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කර ඇත්තේ තමා මෙම පෙත්සම සලකා බැලීමේ කටයුතු වලින් ඉවත්වන බවයි.
ඒ අනුව මෙම පැමිණිල්ල සලකා බැලීම සැප්තැම්බර් මස 30 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන චන්ද්‍රගුප්ත තේනුවර, ප්‍රශාන්ත ගුණවර්ධන සහ මහාචාර්ය හේවා වඩුගේ සිරිල් යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
ඉකුත් දෙසැම්බර් මස තුන්වනදා මරදාන ප්‍රදේශයේ පැවති මහජන රැළියකදී කරුණු දැක්වූ හිටපු අගවිනිසුරු සරත්. එන් .සිල්වා මහතා පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගය පිළිබඳව දැක්වූ අදහස් තුලින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවෙ අදාළ පෙත්සම්කරුවන් අවධාරණය කර තිබේ.








