FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එකඟ නෑ – එජාපය

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  මරණීය දණ්ඩනය ලබාදීම ශිෂ්ට සම්පන්න රටක තත්ත්වයක් නොවන බැවින් ශ්‍රී ලංකාව තුළ කුමන ආකාරයකින් හෝ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ නොකරන බව එක්සත් ජාතික පක්‍ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම වර්තමානයේ පාලන බලය හොබවන එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ලෙසද ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එකඟත්වය නොදක්වන බවද එම නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක, හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා මරණ දඬුවම ලබාදීම නතර කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බවත්, එම ස්ථාවරයේ දිගින් දිගටම සිටිමින් එක්සත් ජාතික පක්‍ෂය කටයුතු කරන බවත් එම පක්‍ෂය නිවේදනය කරයි.

එසේම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගත් ප්‍රතිපත්තිමය තීන්දුව හිටපු ජනාධිපතිවරැන් වන රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග යන එක්සත් ජාතික පක්‍ෂ නායකයන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ හිටපු නායිකා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියද ක්‍රියා කළ බවද එක්සත් ජාතික පක්‍ෂය ප්‍රකාශ කරයි.

2015 දී බිහිකළ යහපාලනය සඳහා වූ ජාතික රජයද, ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම යළි ක්‍රියාත්මක නොකිරීමට වර්ෂ 2016දී ආණ්ඩුවක් ලෙස එකඟත්වය පළ කළ බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒ බව දැනුම්දී ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරයි.