FAST NEWS

24×7 Around the Globe

මීතොටමුල්ල කුණු කන්ද නාගරික උද්‍යානයක් බවට පත්වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වසර ගණනාවක් පුරා කොළඹ ජනතාවට ගැටලු රැසක් ඇති කළ මීතොටමුල්ල කසළ කන්ද මේ වනවිට සුන්දර නාගරික උද්‍යානයක් බවට පත්කිරීමට කටයුතු කරමින් තිබේ.

දේශීය වෘත්තිකයින්ගේ දැනුම භාවිත කරමින් ඉදි කෙරෙන උද්‍යානයට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 130 ක් බවටත් සදහන්.

ශ්‍රී ලංකාවේ කසළ කන්දකට නිර්මාණාත්මක විසඳුමක් ලබාදෙන පළමු අවස්ථාව මෙය වන අතර , නාගරික උද්‍යානය ආශ්‍රිත පවුල් 290 ක් පමණ නාගරික සංවර්ධන අධිකාරියේ මහල් නිවාසවල පදිංචි කරවීමට පියවර ගෙන තිබේ.

ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු, කොළඹ ජීවත්වීමට වඩාත් හිතකර පරිසර කලාපයක් බවට මෙම නාගරික උද්‍යානය පත්වනු ඇත.

කොලොන්නාව නගර සභාව 1989 දී පමණ කසළ බැහැර කිරීමට තෝරා ගත්තේ මීතොටමුල්ල ප්‍රදේශයයි.

පසුව, කොළඹ මහ නගර සභාව ද 2009 වසරේ සිට එම ස්ථානයට කසළ බැහැර කිරීම ආරම්භ කළ අතර , එහි අවසන් ප්‍රතිඵලය වූයේ අඩි 300 ක් ඉහළට විහිද තිබූ මීතොටමුල්ල කසළ කන්ද නාය ගොස් ජීවිත 34 ක් අහිමි වී දේපළ රැසක් ද විනාශ වීමයි.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කසළ කන්දට විසඳුමක් ලබාදීමේ ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීය. ඔහුගේ අදහස වූයේ ගැටලුවට නිර්මාණාත්මක විසඳුමක් ලබාදීමයි. ඒ අනුව මීතොටමුල්ල නාගරික උද්‍යානයේ ඉදිකිරීම් ආරම්භ කෙරිණ.