(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් නිල්වලා ගගේ ජලය ශ්‍රීඝ‍්‍රයෙන් දූෂණය වීමට පටන්ගෙන ඇති බව රුහුණු විශ්ව විද්‍යාලය සහ ජාතික ජල සම්පාදන මණ්ඩලය එක්ව වසර ගණනාවක් කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බව එම විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච් .බී අශාන්ති මහත්මිය පැවසීය.
මේ සම්බන්ධයෙන් එතුමිය පලකළ අදහස් ,
“නිල්වලා ගගේ ඉහළ කොටසේ සිට විවිධ ප‍්‍රදේශ වලින් සහ විවිධ ස්ථාන වලින් ගගේ ජලයට අපද්‍රව්‍ය එකතුවෙන එක වැඩිවෙලා තියෙනවා . විශේෂයෙන් 2012 වසරේ මාතර , තොටුමුණ ප‍්‍රදේශයේ ජල සාම්පල් වල මල අපද්‍රව්‍ය සමග කෝලි ආකාර බැක්ටීරියාව වැඩිවීමක් දක්නට ලැබුනා .
ඒ තත්ත්වය තවත් වැඩිවෙනවා . ඒ වගේම පිරිපහදුව සඳහා ජලය ලබා ගන්නා බලකාවල ප‍්‍රදේශයේ ජල සාම්පල් පරීක්ෂා කිරීමේදී කොපරි කියන බැරලෝහය වැඩි සංයුතියක් සහිත බව අනාවරණය වුනා . දැනට තිබෙන පරිපහදු ක්‍රියාවලියට අනුව බැරලෝහ ඉවත් කිරීමේ විශේෂ ක්‍රමවේදයක් නැහැ.”
මීට අමතරව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් කළමනාකරු සමන්ත කුමාර මහතාගෙන් මේ සම්බන්ධවෙන් කළ විමසීමකදී කියා සිටියේ , මාතර නගරයේ හාරලක්ෂයකට ආසන්න ජනතාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග‍්‍රාමසේවා වසම් 25ක ජනතාවට නිල්වලා ගගෙන් පානීය ජලය සපයනු ලබන බවය.
අකුරැස්ස නගරයේ සමීපයෙන් නිල්වලා ගඟ පිහිටීම නිසා එම ප‍්‍රදේශයෙන් අපද්‍රව්‍ය ගඟට එකතු වන බැවින් පිරිපහදුවට අධික පිරිවැයක් දැරීමට සිදුවන බවත් ඔහු පැවසීය.
මාතර මහා රෝහලේ පල්දෝරු පද්ධතිය , මාතර බන්ධනගාරයේ වැසිකිළි පද්ධතිය ඇතුළු මාතර ,දෙණියාය ,අකුරැස්ස , කඹුරුපිටිය යන ප‍්‍රදේශවල නාගරික අපද්‍රව්‍ය වැසිකිළි අපද්‍රව්‍ය නිල්වලා ගඟට මුදාහරින බව මීට පෙර අවස්ථා ගණනාවකින් වාර්තා වී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.








