(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දුම්රිය සේවක ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට නම් අවම වශයෙන් මාස එකහමාරක් පමණ ගතවන බව ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය.
එම කාලයට පෙර දුම්රිය වෘත්තීය සමිති මහජනතාව අපහසුතාවට පත්කරමින් නැවත දුම්රිය වර්ජනයක් සිදුකිරීමට පෙළඹුණහොත් රටේ පවතින හදිසි නීති තත්ත්වය හමුවේ දුම්රිය දෙපාර්තමේන්තුව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
දුම්රිය සේවක වැටුප් වැඩි කිරීමේදී අනෙකුත් සමාන්තර සේවාවන්වලට අගතියක් නොවන ආකාරයෙන් වැටුප් වැඩිකළ යුතු බවද ඒ මහතා කීය.
මේ වන විට දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට රනුක්ගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙන බවත්, එම කමිටු වාර්තාව සති දෙකකින් පමණ ලැබීමට නියමිත බවත් ඒමහතා කීය.
ඒ අනුව එම වාර්තාවද ලැබීමෙන් පසු වාර්තාවක් සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට තවත් මාසයක් පමණ ගතවන බවද හෙතෙම කීය.








