(ෆාස්ට් නිව්ස් – කොළඹ) – නිදහස හා ප්රජාතන්ත්රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේ දී රට තුළ ඇති කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40 ක් සපිරීම වෙනුවෙන් ඊයේ (23) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති සැමරුම් උත්සවය අමතමින් අවධාරණය කළේය.
18 වන ව්‍යවස්ථා සංශෝධන ක්රමයේ තිබූ රාජාණ්ඩු හා ඒකාධිපති ස්වරූපය හේතුවෙන් නව ආණ්ඩුවක් පිහිටුවා 19 වන සංශෝධනය ගෙන ආව ද එම සංශෝධනය හරහා එක දේශපාලන නායකත්වයක් යටතේ ගමන් කිරීමට නොහැකි වීමෙන් රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වූ බවත් ඒ තුළ යහපාලන රජයේ අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වූ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
රටට අවශ්‍ය ඇත්තේ ජනතා සිතුම් පැතුම් හඳුනන ජන හිතකාමී පාලනයක් බවත් ඒ සඳහා රටට ආදරය කරන සහ අවංක දේශපාලන නායකයින් සිටිය යුතු බවත් හෙතෙම පැවසීය.
ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස හිමි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු අමාත්‍යවරියක වන ෆේරියල් අෂ්රොෆ් මහත්මිය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.








