FAST NEWS

24×7 Around the Globe

“සාරවත් දේශයක වාපි සංග්‍රාමය” එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණය ජනපති ප්‍රධානත්වයෙන්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – “සාරවත් දේශයක වාපි සංග්‍රාමය” එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල බටහිර පඬුවස්නුවර පිහිටි කොටකිඹුලාකඩ අමුණ අසල දී අද (12) පැවැත්විය.

පුරන් කුඹුරු අක්කර 3000 ක් අස්වද්දමින් පවුල් දහසක කෘෂි ආර්ථිකය සවිබල ගන්වමින් සමගාමී වැව් අමුණු 21 ක් සංවර්ධනය කිරීම ව්‍යාපෘතිය යටතේ සිදුකෙරේ.

එල්ලංගා පද්ධති මඟින් සබැඳුණු ග්‍රාමීය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සද්කාරය පසුගිය වසරේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය, නබඩගස්දිගිලිය වැව අසලදී ආරම්භ කෙරිණි.

එල්ලංගා පද්ධති ව්‍යාපෘතිය යනු වියළි කලාපය තුළ මේ වන විට අක්‍රීයවී ඇති එල්ලංගා වැව් පද්ධතීන් නැවත ප්‍රතිසංස්කරණය කර එම ප්‍රදේශවල ජනතාවට වාරි ජලය සැපයීම වෙනුවෙන් ඇරඹූ ව්‍යාපෘතියකි.

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ මේ සාම්ප්‍රදායික කෘෂි තාක්ෂණික ක්‍රමවේදය මඟින් මෙරට කෘෂිකර්මාන්තයේ සහ කෘෂි ආර්ථිකයේ පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.