(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අධිකරණ නියෝගයක් ලැබෙන්නේ නම් පළාත් සභා මැතිවරණය සීමා නිර්ණය කටයුතුවලින් තොරව වුවද පැවැත්වීමට හැකියාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව අද (03) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
කල් තබා තිබෙන පළාත් සභා මැතිවරණය පවත්වන මෙන් මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඉදිරිපත්ව තිබු පෙත්සම් අද(03) කැඳවූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා මගින් එම දැනුම්දීම සිදු කළ බව අප අධිකරණ වාර්තාකරු පවසයි.
සබරගමු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් යන මහත්වරු විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුහ.
ඒ අනුව මෙම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම අගෝස්තු මස 02 වැනිදා යළි විභාගයට ගැනීමට නියම කර තිබේ.








