FAST NEWS

24×7 Around the Globe

අද (03) රාත්‍රී සිට වැසි සුළං වර්ධනයක්

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත්, ඒ හේතුවෙන්, දිවයිනේ නිරිතදිග කොටසේ) වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අද (03) රාත්‍රී සිට අපේක්ෂා කෙරෙන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (03) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන බවත් සඳහන්.

සෙසු ප්‍රදේශ වල විශේෂයෙන් සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවත් නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.

දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කදුකර ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.