FAST NEWS

24×7 Around the Globe

නීතිපතිවරයා පුජීත්ට හා හේමසිරිට එරෙහිව පුර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව පොලිස්පති පුජීත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ලියනගේට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව නීතිමය පියවර ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසට නීතිපතිවරයා අද (31) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ජාතික වැදගත්කමකින් යුත් නඩු කටයුතු බැවින් ඒවා විභාග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පහක් හෝ ඊට වැඩි දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා මෝසමක් ගොනු කරන බව නීතිපතිවරයා වෙනුවට අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජාමිල් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවාය.

ඒ අනුව මෙම පෙත්සම් විභාගය ජූනි මස 06 දා නැවත කැදවීමට විනිසුරු සිසිර ද ආබෲ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළහ.

මෙම වගඋත්තරකරුවන්ට නීතිපතිවරයා පෙනී නොසිටින බවට මීන් පෙර අධිකරණයට දැනුම් දී තිබු අතර, ඒ අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය වෙනුවෙන් පුද්ගලික නීතිඥවරු දෙදෙනෙකු අද (31) අධිකරණය හමුවේ පෙනී සිටියහ.