FAST NEWS

24×7 Around the Globe

විජේදාස රාජපක්ෂට මිලියන 500 ක් ගෙවන ලෙස ලේක්හවුස් ආයතනයට නියෝග

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ කීර්තියට සිදුකළ හානිය වෙනුවෙන් ඔහුට රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණය විසින් ලේක්හවුස් ආයතනයට එරෙහිව දුන් තීන්දුව ඊයේ (30) බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය විසින් ස්ථිර කර තිබේ.

ලේක්හවුස් පුවත්පතක් මන්ත්‍රීවරයා පිළිබඳව පළ කළ ලිපියක් සම්බන්ධයෙන් 2010 වසරේ දී විජේදාස රාජපක්ෂ මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු ගොනු කරනු ලැබුවේය.

ඒක පාක්ෂිකව පැවති මෙම නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ දිසා අධිකරණය අදාළ ප්‍රවෘත්තිය තුළින් විජේදාස රාජපක්ෂ මහතාගේ කීර්තියට හානියක් සිදුවී ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන ලෙසත් ලේක්හවුස් ආයතනයට නියම කර තිබුණි.

එම තීන්දුවට එරෙහිව ලේක්හවුස් ආයතනය විසින් එම අභියාචනය ඉදිරිපත් කර තිබුණු අතර එය විභාග කල බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය එය ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය මඟින් දුන් තීන්දුව ස්ථිර කරනු ලැබීය.