FAST NEWS

24×7 Around the Globe

වසර 20 කට පසු ත්‍රිවිධ හමුදාවේ දීමනා ඉහළ දැමේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්‍රිවිධ හමුදාවේ සියළු නිලධාරීන්ට හා අනෙකුත් නිලයන්හට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුළු අනෙකුත් දීමනා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
මෙම දීමනාවල බොහොමයක් පසුගිය වසර 20 ක කාලයක් තිස්සේ කිසිදු වැඩිවීමක් කර නොමැති බවත් වාර්තා වේ.
ත්‍රිවිධ හමුදා අයවලුන්ගේ වැටුපට අමතරව නිලධාරීන් සඳහා ගෙවනු ලබන මාසික සලාක දීමනාව 2019 ජනවාරියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 23, 231 දක්වාද, සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව රුපියල් 19,350 දක්වාද වැඩිකර තිබේ.
මෙම සලාකයට ඇතුළත් ආහාර ද්‍රව්‍ය ලේඛණය ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වෙත ලබාදීමෙන් පසුව කරන ලද ගණනය කිරීමෙන් අනතුරුව මෙම දීමනා වැඩිකිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය පසුගිය සතියේදී ලබාදෙනු ලැබීය.
මේ අතර ත්‍රිවිධ හමුදාවට ගෙවනු ලබන පහත සඳහන් දීමනා 2019 ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමනු ඇත.
ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාව දෙගුණ කෙරෙන අතර ශ්‍රී ලංකා නාවුක හා ගුවන් හමුදාවල සමාන නිලධාරීන්ද ඇතුළත් කොමාන්ඩෝ දීමනාව මසකට රුපියල් 1000 සිට රුපියල් 5000 දක්වා වැඩිකරනු ලැබෙයි.
මංගල සමරවීර අමාත්‍යවරයා විසින් අයවැයෙන් යෝජිත පරිදි ත්‍රිවිධ හමුදාවේ සියළු නිලයන් සඳහා ගෙවනු ලබන දෛනික යහපැවැත්ම දීමනාව සහ නිල ඇඳුම් දීමනාව ද 2019 ජූලි 01 දින සිට වැඩි කිරීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ඇතුළත් අංක 02/2019 චක්‍ර ලේඛය 2019 මැයි මස 21 වන දින නිකුත් කරන ලදී.