FAST NEWS

24×7 Around the Globe

ඵෙතිහාසික වැදගත්කමක් සහිත සීගිරිය දැන් ත්‍රිමාණ රූප සහිතව…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන්ට සීගිරිය කෞතුකාගාරයේ සිට කාශ්‍යප රජු සමයේ සීගිරිය පැවති ආකාරය දැක්වෙන ත්‍රිමාණ සජීවී රූපරාමු දැකගැනීමේ අවස්ථාවක් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් උදාකර දී තිබේ.
විනාඩි 15 ක පමණ කාලයකදී ත්‍රිමාණ රූප සමග සජීවී කරන තාක්ෂණය යටතේ ඉපැරණි සීගිරිය රජු දවසේ පැවැති ආකාරය දැක බලා ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවේ.
ඊට අමතරව සීගිරිය පැවති ආකාරය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමට හැකි වන පරිදි මෙය ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.
මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා කියා සිටියේ ඉදිරියේදී සීගිරියට පැමිණෙන සංචාරකයන්ට නව අත්දැකීමක් ලබාදීම සඳහා සීගිරිය පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව ගමන් කිරීම සඳහාත් මෙම අත්හදා බැලීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.
සිංහ පාදය සීගිරි බිතුසිතුවම් දිය පොකුණු සීගිරි අප්සරාවන් ආරක්ෂක බල මුළු ස්ථාන සීගිරි කසුප් රජු අප්සරාවියන් සමඟ දැක්වෙන සියල්ල ද ත්‍රිමාණ රූප සජීවීකරණයෙන් නිර්මාණය කොට තිබේ.
මෙහි තාක්ෂණික නිලධාරීන් කියා සිටියේ සීගිරිය පිළිබඳව වසර එකහමාරක පමණ කාලයක සිට අධ්‍යයනය කොට සීගිරියේ පිහිටි වර්තමාන ගොඩනැගිලිවල උස දිග පළල පිහිටීම් ආකාරය සියල්ල අධීක්ෂණයෙන් පසු එම ක්‍රමවේදයටම ඉපැරණි රජ මැදුර ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ නිර්මාණය කොට තිබෙන බවයි.