FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයට කැබිනට් 14 ක් සමග ඇමතිවරු 93 ක් අද දිවුරුම් දෙති.

එක්සත් ජාතික පෙරමුණු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හවුල් ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරුන් 48 දෙනෙකු සහ නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනෙකු අද (04දා) උදෑසන දිවුරුම් දීමට නියමිතය.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් කැබිනට් අමාත්‍ය ධුර 34 ක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැබිනට් අමාත්‍ය ධුර 14 ක් වෙන්වී තිබේ.

නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථ බෙදාගැනීමේ අර්බුදය ඊයේ (03දා) මධ්‍යම රාත්‍රිය තෙක් නිමා වී නොතිබීම විශේෂත්වයකි.

නව රජයේ ජනමාධ්‍ය, විදුලිබල බලශක්ති ඇතුළු විෂය පථ කීපයක් සඳහා අමාත්‍ය ධුර පත්කිරීමේදී කඹ ඇදිල්ලක් පැවැති අතර, ජනමාධ්‍ය අමාත්‍යාංශය බෙදාගැනීම ඒ අතර මූලික අර්බුදයක්ව පැවතිණි.

ඛනිජ තෙල් අමාත්‍යාංශය ලංකා නිදහස් පක්ෂයට වෙන්වී ඇති අතර, ඒ සඳහා එම පක්ෂය යෝජනා කළ නමට ගත වූ කාලයේදී චෝදනා එල්ල වී තිබීම නිසා ඔහුට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අකමැත්ත ප්‍රකාශ වී ඇතැයිද වාර්තා වේ.

දින 100 කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර දැරූ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු වෙත ඔවුන් පෙර කටයුතු කළ අමාත්‍යාංශම ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු කර තිබේ.

ඒ අනුව වරාය සංවර්ධන අමාත්‍යාංශය අර්ජුන රණතුංග, අධ්‍යාපන අමාත්‍යාංශය අකිල විරාජ් කාරියවසම්, මුදල් අමාත්‍යාංශය රවි කරුණානායක, සෞඛ්‍ය අමාත්‍යාංශය රාජිත සේනාරත්න, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය සජිත් ප්‍රේමදාස යන මන්ත්‍රීවරුන් අතරේ බෙදීයාමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නාගරික සංවර්ධන අධිකාරිය අහෝසි කර අදාළ ආයතන ඇතුළත් ‘මෙගා පොලිස්’ නම් නව අමාත්‍යාංශය සඳහා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නම යෝජනා වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වෙත රාජ්‍ය පරිපාලන හා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයද, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත මහාමාර්ග අමාත්‍යාංශයද, ආයෝජන සංවර්ධන අමාත්‍යාංශය කබීර් හෂීම් මහතාටද යෝජනා වී තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශය නිමල් සිරිපාල මහතා වෙත යෝජනා වී ඇති අතර, විදුලිබල හා බලශක්ති විෂයයද, කෘෂිකර්ම හා වාරිමාර්ග විෂයයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතට පත්වීමට නියමිතව තිබේ.

ආරක්ෂක, මහවැලි හා පරිසර යන විෂය පථ තුන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දරනු ඇති අතර, ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශය අගමැතිවරයා යටතේ පවතිනු ඇතැයි සඳහන් වේ.

කැබිනට් අමාත්‍ය ධුරවලට අමතරව, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර සඳහා නවක මන්ත්‍රීවරුන් කීපදෙනෙකු ඇතුළත්ව සිටින බවටද වාර්තා වේ.

කෙසේවෙතත් පිහිටුවා ඇති ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 48 ක් වියයුතු බවත්, කැබිනට් නොවන අමාත්‍යවරුන් සංඛ්‍යාව 45 නොඉක්මවිය යුතු බවත් පවසමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව ඊයේ (03දා) පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 127කින් සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 143 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 16 ක් ලැබුණි. මන්ත්‍රීවරු 63 දෙනෙක් ඡන්ද විමසීමේදී සභාවට නොපැමිණ සිටියහ.