FAST NEWS

24×7 Around the Globe

කතෝලික පාසල් 14 යළි ආරම්භ කෙරේ – දේව මෙහෛයන් ඉරිදා සිට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දැනට වසා දමා ඇති කතෝලික පෞද්ගලික පාසල්වල දෙවැනි පාසල් වාරය ලබන 14 වැනිදා යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාණන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලන ශාලාවේදී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
රටේ ආරක්ෂක තත්ත්වය සළකා බලා පමණක් එදින පාසල් ආරම්භ කරන බවත් ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පැවතියහොත් වෙසක් පොහොය පසු වන තුරු පාසල් වසා තබන බවද කාදිනල්තුමෝ සදහන් කළහ.
එසේම පාස්කු ඉරිදා දින එල්ල වූ ප්‍රහාරයන්ගෙන් පසු නවතා දමා තිබූ දේව මෙහෙයන් කොළඹ දිස්ත්‍රික්කයේ දේවස්ථානවලදී ලබන ඉරිදා සිට යළි ආරම්භ කරන බවද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

සෙසු පළාත්වලද පවතින ආරක්ෂක වැඩපිළිවෙළ සළකා බලා දේවමෙහෙයන් යළි ඇරඹීම ගැන තීරණයක් ගන්නා ලෙස රදගුරුතුමන්ලා වෙත දැනුම් දී ඇතැයිද කාදිනල්තුමෝ සදහන් කළහ.