FAST NEWS

24×7 Around the Globe

ජනපති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සමග විශේෂ හමුවක…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රට හමුවේ මතුව ඇති අභියෝගය ජය ගැනීමට මෙරට සියලු ආරක්ෂක අංශ නව ජවයකින් ශක්තිමත් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සමග ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විශේෂ හමුවකට එක්වෙමින් සදහන්කර සිටියේය.
රට තුළ මතු වූ හදිසි තත්ත්වය හමුවේ ගෙවී ගිය දින කිහිපය තුළ පොලිස් දෙපාර්තමේන්තුවේ සියලූදෙනා ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කළ මෙහෙවර මෙහි දී අගය කළ ජනාධිපතිතුමා රටේ සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් ශක්තිමත් සහ පුළුල් වැඩපිළිවෙළක් ඔස්සේ අඛණ්ඩව ඉදිරි පියවර කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කම පැහැදිලි කළේය.
රට තුළ මතුවූ බලාපොරොත්තු නොවූ මෙම හදිසි තත්ත්වය හමුවේ මෙරට ආරක්ෂක අංශවලට මෙන්ම ජනතාවට නව අභියෝගයකට මුහුණදීමට සිදු වුවත් ශ‍්‍රී ලංකා ජාතියේ අතීත අත්දැකීම් මෙන්ම නොමඳ ජාත්‍යන්තර සහය හමුවේ එම අභියෝගය ජය ගැනීම කිසිසේත් අපහසු නොවනු ඇති බවට ජනාධිපතිතුමා මෙහිදී විශ්වාසය පළ කරන ලදී.