(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2018 දෙසැම්බර් මස පැවති 73 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ දී එකඟවූ ආකාරයෙන් ශ්‍රී ලංකා රජය මරණ දඩුවම ඉදිරියටත් අත්හිටුවනු ඇතැයි අපේක්ෂා කරන බව මරණ දඩුවම ලංකාවේ ක්‍රියාත්මක කිරීමට තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය පෙන්වා දී තිබේ.
ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත, රොමේනියා, නෝර්වේ හා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව හා කැනඩාව යන මහකොමසාරිස් කාර්යාලවල එකඟතාව අනුව එම සංගමය මෙම නිවේදනය නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා රජය මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ප්‍රතිපත්තියට අනුකූලව වසර 43 කට පසුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා මෑතකදී කටයුතු කරමින් සිටින බව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය පෙන්වා දී තිබේ.
සීඝ්‍රයෙන් වර්ධනය වන මත්කුඩු ජාවාරම ලොව පුරා රාජ්‍යයන් මුහුණ දෙන බරපතල ගැටළුවක් බවත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම පිළිගන්නා බවත්, කෙසේ වෙතත් මරණ දඬුවම යනු ඒ සදහා වන ඵලදායී ප්‍රතිකර්මයක් යන්න සනාථ වී නොමැති තර්කයක් වන බවත් මත්කුඩු උවදුරට එරෙහිව ක්‍රියාත්මක වීම සම්බන්ධව ඇති අත්දැකීම් බෙදාහදා ගැනිමට ඔවුන් සූදානම් බවද නිවේදනය මගින් වැඩි දුරටත් පෙන්වා දී ඇත.