FAST NEWS

24×7 Around the Globe

සරණාගතයන්ට බලපාන බොහෝ තීරණ මෙවර ඕස්ට්‍රේලියා අයවැයට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019/20 මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් වූ ඔස්ට්‍රේලියාවේ මධ්‍යම රජයේ අය වැය මඟින් ඔස්ට්‍රේලියාවට පැමිණි නව සරණාගතයින්ට සේවා වියුක්ති සේවාවන්වල (unemployment services) සහාය ලබාගැනීමට මාස 12 ක කාලයක් බලා සිටිය යුතු බවට තීරණය කර ඇත.
ඒ හැරුණුවිට වාර්ෂික සංක්‍රමණික කෝටාව කප්පාදු කිරීම, සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් බැහැරව ස්ථාපිත කිරීමට උනන්දු කරවීම, 2019 වසරේ නොවැම්බර් මාසයේ සිට නව ප්‍රාදේශීය වීසා (Regional Visa) ප්‍රධාන ඛාණ්ඩ 2 ක් ක්‍රියාත්මක කිරීම හා 2019 ජූලි 01 වන සිට ඔස්ට්‍රේලියාවේ සෑම වීසා උප ඛාණ්ඩයකම වීසා ගාස්තු 5.4% කින් ඉහළ නැංවීම ඇතුළු සරණාගතයනට බලපාන බොහෝ තීරණ මෙවර අයවැයට ඇතුළත් ව ඇත.
2019/20 මුල්‍ය වර්ෂයේ සිට ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 190,000 සිට160,000 දක්වා කප්පාදු කිරීම මේ අනුව සිදු කෙරෙනු ඇත.
160,000 ක් වූ ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාවෙන් 108,682 ක්ම හිමිව ඇත්තේ කුසලතා පදනම් වන වීසා ඛාණ්ඩයටය. පවුලේ සාමාජිකයන් ගේ ඛාණ්ඩයට 47,732 කෝටාවක් වෙන් කර තිබේ. වාර්ෂික සංක්‍රමණික කෝටාවෙන් දරුවන්ට 3,586 ක්ද වෙන් කර තිබීම විශේෂත්වයකි.
සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් බැහැරව ස්ථාපිත කිරීමට උනන්දු කරවීමේ වැඩසටහන නව මුල්‍ය වර්ෂයේදී ආරම්භ වන අතර ඉදිරි වසර 5 ඇතුළත ඒ සඳහා ඩොලර් මිලියන 50 ක පිරිවැයක් දැරීමට නියමිතය. ඒ හැරුණුවිට 2019 වසරේ නොවැම්බර් මාසයේ සිට නව ප්‍රාදේශිය වීසා ප්‍රධාන ඛාණ්ඩ 02 ක් ක්‍රියාත්මක කෙරේ.
මෙම නව ප්‍රාදේශිය වීසා හිමිවූවන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල වාසය කළ යුතු අතරම එම කලාප වල සේවය කළ යුතුද වේ. වසර 5 ක් දක්වා වූ වලංගු කාලයකට මෙම වීසා හිමිවනු ඇත.
මෙම නව ප්‍රාදේශිය වීසා හිමි පුද්ගලයින්ට අවශ්‍ය සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ද අයදුම් කළ හැකිය.
2019 ජූලි 01 වන සිට ඔස්ට්‍රේලියාවේ සෑම වීසා උප ඛාණ්ඩයකම වීසා ගාස්තු 5.4% කින් ඉහළ නැංවීමට තීරණය කළ අතර ඒ හරහා ඉදිරි වසර 04 ඇතුළත ඩොලර් මිලියන 275 ක මුදලක් ඉපයීමට අපේක්ෂා කෙරේ.
නිපුණතා සංක්‍රමණික පරීක්ෂණ ක්‍රමය අයදුම්කරුවන්ට වැඩි වාසිදායී අයුරින් සකස් කිරීමට අපේක්ෂිත අතර අයදුම්කරුවන්ගේ සහකරුවන්ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය අනුව එම වාසි අඩු වැඩි වෙයි.