(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මේ මස 05 වැනිදා පැවැත්වෙන අය-වැය තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී ගතයුතු තීරණය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සඳහා ,ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ විශේෂ තීරණාත්මක රැස්වීමක් අද (04දා) සවස 4.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවේදී අය-වැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැති අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කළද ඒකාබද්ධ විපක්‍ෂය අය-වැයට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කිරීමට තීරණය කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අය-වැයට ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කළද, එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඩිලාන් පෙරේරා, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා, නිශාන්ත මුතුහෙට්ටිගම සමඟ ශ්‍රීයාණී විජේවික්‍රම යන මහත්ම මහත්මීහු අය-වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
පෙරේදා (02) රාත්‍රි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවෙසේදී පැවැත්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම කිසිදු තීරණයකින් තොරව අවසන් විය.
අය-වැයේදී ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතු බවට එහිදී යෝජනාවක් ඉදිරිපත්වී ඇති අතර තවත් පිරිසක් දැඩිව යෝජනා කර තිබෙන්නේ අය-වැයට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කළ යුතු බවයි.
මෙම ‘බෙදීම’ ඇතුළු තවත් කරුණු කිහිපයක් ගැන සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ හා විපක්‍ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම අද පැවැත්වීමට නියමිතය.