FAST NEWS

24×7 Around the Globe

අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරනවා – ජවිපෙ

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මෙවර අයවැයට විරුද්ධව සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය භාවිත කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නේත්ති මහතා අද (03) එම පක්ෂ මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමීන් සඳහන් කළේය.
වසර 70 ක්ම රට ණය කරලා 71 වෙනි වරටත් නැවත රට ණය කරපු අයවැයක් කියලා මේ අයවැය දකින බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.
“අපේ රටේ අයවැය කියන්නේ මහ බොරුවක්. දැන් ලෝකයේ අයවැය රහස් කියලා දෙයක් නැහැ. වෙනත් බොහෝ රටවල්වල අයවැය සම්බන්ධයෙන් පවත්වපු වැඩමුළුවලට අපි සහභාගිවෙලා තිබෙනවා. ඒ රටවල්වල අයවැය රහස් කියලා ජාතියක් නැහැ. අපේ රටේ මුදල් ඇමතිලාගේ අයවැය රහස් ගැන කියනකොට විශාල පොත් උස්සගෙන එනවා කියලා කිව්වාම ඒ රටවල්වල අය හිනාවෙනවා. මොකද ඒ රටවල් වල තියෙන්නේ අයවැය කාර්යාලයක්. පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරු එකතුවෙලා රටේ අයවැය හදනවා. රටේ තිබෙන ආදායමට තමයි ඒ රටවල්වල අයවැය හදන්නේ. හීනවලට අයවැය හදන්නේ නැහැ.
වියදම වැඩිනම් විපක්ෂය ඒ අයවැය ඉදිරිපත් කරන්න දෙන්නේ නැහැ. රටේ ආදායමට හරියන වියදම් විතරයි අයවැයට දාන්නේ.
නමුත් අපේ රටේ බොරු අයවැයක් හදනවා. පැයක් එකහමාරක් මුදල් ඇමති අයවැය බොරුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මන්ත‍්‍රීවරු මාසයක් තිස්සේ අයවැය විවාද කරනවා. අපරාදේ පාර්ලිමේන්තුව විශාල වියදමක් කරනවා. මන්ත‍්‍රීවරු එන්නෙත් නෑ. පුටුවලට කතා කරනවා. මේ බොරුවට අපි අත උස්සන්න ඕනැද? ඒ නිසා අපි මේ අයවැයට ලබන 05 වෙනිදා විරුද්ධව ඡන්දය දෙනවා. අපේ මන්ත‍්‍රීවරු 06 දෙනා හැකි උපරිමයෙන් මේ අයවැය ගැන ජනතාව දැනගත යුතු කරුණු රාශියක් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළා. ඒ කරුණු ජනතාවට තමයි වැදගත්. ආණ්ඩු පක්ෂයට ඒ කරුණුවලින් වැඩක් නැහැ. වසර 70ක්ම අපේ රට ණය කරලා 71වෙනි වරටත් නැවත අපේ රට ණය කරපු අයවැයක් කියලයි අපි මේ අයවැය දකින්නේ. 2018 මාර්තු 31 වනවිට තිබුණ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 9588යි. 2019 මාර්තු 31 වෙනකොට අපේ රට රුපියල් බිලියන 11999ක් ණය වෙලා තිබෙනවා. ණය ගෙවන්න නැවත නැවත ණය ගන්න රටක් බවට අපි පත්වෙලා තිබෙනවා. ඒකාබද්ධ අරමුදල සෘණ අගයක් තිබෙන රටක ආර්ථිකය ගැන කවර කතාද? එනිසා මෙම අයවැය පරාජය කරන්න ඇත්ත විරෝධයක් තිබෙනවා නම් එකතු වෙන්න කියලා පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන්ගෙන් ඉල්ලා සිටිනවා”