FAST NEWS

24×7 Around the Globe

අධික මිලකට ලබාගත් පිළිකා එන්නත් තොගයක් සෞඛ්‍ය ඇමති තහනම් කරයි..

(ෆාස්ට් නව්ස් | කොළඹ ) –  රජයට රුපියල් මිලියන 50 ක පාඩුවක් සිදු කරමින් එක්තරා බහුජාතික බෙහෙත් සමාගමකින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගෙන ඇති අධි මිලැති පියයුරු පිළිකා එන්නත් තොගයක් තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පියවර ගෙන තිබේ.
අමාත්‍යවරයා මේ බව සදහන්කර සිටියේ ඊයේ (25) මාතලේ නගරයේ ඖෂධ නීතිගත සංස්ථාවේ 42 වැනි ඔසුසල විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජනහමුව අමතමින්.
අදාළ බහුජාතික බෙහෙත් සමාගමෙන් පියයුරු පිළිකා එන්නත් මිලදී ගැනීම නතර කරන ලෙසද අමාත්‍යවරයා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම්. රූමි මහතා වෙත උපදෙස් ලබාදී ඇත.
පිළිකා බෙහෙත් මිල අඩුකිරීමේ තීරණයක සිටින අවස්ථාවේදී ඖෂධ නීතිගත සංස්ථාව විසින් එක් එන්නතක් රුපියල් පන්ලක්ෂ පනස්දහසකට මිලදී ගැනීම යෝග්‍ය නොවන බවත් රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.
ටෙන්ඩර් දෙකක් ඉදිරිපත් කර අදාළ එන්නත් තොගය මිලදී ගෙන ඇති අතර, මෙම එන්නතට සමාන තවත් අඩු මිල එන්නත් වෙළෙඳපොළේ පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.