FAST NEWS

24×7 Around the Globe

ජාත්‍යන්තර පාරිභෝගික දිනයට සමගාමීව විශේෂ වැඩසටහනක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගික අයිතිය සුරක්ෂිත කර ගන්නා ආකාරය පිළිබඳව ගමින් ගමට ගොස් පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාත්‍යන්තර පාරිභෝගික දිනයට සමගාමීව ක්‍රියාවට නංවන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ආචාර්යය ලලිත් සෙනවීර මහතා පවසයි.
මාර්තු 15 දිනට යෙදෙන ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනයේ මෙවර තේමාව වන්නේ “විශ්වාසදායී සුහුරු නිෂ්පාදන” යන්නය.
කර්මාන්ත හා වාණිජ කටයුතු සහ දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ උපදෙස් මත, මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගික අයිතිය සුරක්ෂිත කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳවත්, “ස්මාට් නිෂ්පාදන” පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණයි.
ඒ අනුව පාරිභෝගිකයන් විසින් මිලදී ගන්නා විද්යුත්, විදුලි උපකරණ, ඩිජිටල් උපකරණ සහ උපාංග සඳහා අවම මාස 06 ක වගකීමක් ලබා ගැනීම, එකී වගකීම සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කර තිබේද යන්න විමසිලිමත්වීම, භාණ්ඩයේ නිෂ්පාදිත, අවසන් දින සහ අත්‍යාවශ්‍ය තොරතුරු වෙනස් කර ඇති සහ විකෘති කරන ලද උපකරණ උපාංග මිලදී ගැනීමෙන් වළකින ලෙස පාරිභෝගිකයින් දැනුවත් කිරීම, ස්මාට් උපකරණ (ජංගම දුරකථන, ටැබ්, ලැප්ටොප් ඇතුළු සුහුරු (ස්මාට්) නිෂ්පාදන මිලදී ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග, ඔන්ලයින් ක්‍රමයට උපකරණ උපාංග මිලදී ගැනීමේදී පාරිභෝගික ආරක්ෂාව සැලසෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරේ.
මෙම වැඩසටහන මාර්තු 31 දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ලලිත් සෙනවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.