හෙට (01දා) රැස්වන පාර්ලිමේන්තුවේදී මුලින්ම සිදුකරන්නේ කථානායකවරයෙකු පත්කර ගැනීම බවත්, ඒ සඳහා කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
නියෝජ්‍ය කථානායක ධුරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නමක් යෝජනා කිරීමට නියමිත බවත්, එම කටයුතු අවසන් වූ පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරන බවද ඔහු පවසා සිටියේය. කොළඹ නගර නිර්මාණ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් අගමැතිවරයා ඊයේ (30දා) මේ බව සඳහන් කළේය.
ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර සංඛ්‍යාව පිළිබඳව සැප්තැම්බර් 03 වැනිදාට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර එම යෝජනාව සම්මත කිරීමෙන් පසු කැබිනට් අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කරන බවද ඔහු පැවසීය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව අමාත්‍ය මණ්ඩලය 30 කට සීමාවිය යුතු වූවත්, ජාතික ආණ්ඩුවකදී එය වැඩිකර ගැනීමට අවස්ථාව තිබෙන බවත්, ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත යුතු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ජාතික ආණ්ඩුවේ වැඩකටයුතු පාර්ලිමේන්තු අනුමැතිය යටතේ සිදුවන බවත්, එයට ආදර්ශයක් ලෙස අමාත්‍ය මණ්ඩලය පත්කරගැනීමත් පාර්ලිමේන්තු අනුමැතිය යටතේ සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය.