(ෆාස්ට් නිව්ස් | කොළඹ) පාර්ලිමේන්තුවේ කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන මැති ඇමතිවරුන්ගේ සියලුම විස්තර ඇතුළත් ලිඛිත වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදී ඇතැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.
එම වාර්තාවට අනුව කොකේන් පාවිච්චි කරන මැති ඇමතිවරුන් 24 දෙනෙක් සිටින බවත් ඒ සම්බන්ධයෙන් කතානායකවරයාට වාචිකව ප්‍රකාශ කර ඇති බවත් , එම සියලුම නම් මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා ,
‘‘කතානායකවරයා මට ප්‍රකාශ කළේ මේක පාර්ලිමේන්තුවටත් ඒ වගේම රටේ කීර්තියටත් විශාල ප්‍රශ්නයක් කියලයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල රැස්වීම අගෝස්තුවේ එනවා. ස්වාධීන අධිකරණ තීන්දු, කොමිෂන් සභා ස්ථාපිත කිරීම නිසා ඒකෙදී අපිට ලොකු කීර්තියක් ඇවිත් තියෙනවා.
එහෙම තියෙද්දි කොකේන් හා සම්බන්ධ දේශපාලඥයන් පිළිබඳ ප්‍රවෘත්තිය බටහිර මාධ්‍ය සියල්ලක්ම පාහේ මේ වාර්තා කළා. ඒ නිසා මේ ප්‍රවෘත්තිය පොඞ්ඩක් නිමෙන්න අරින්න කියලා කතානායකවරයා මට ප්‍රකාශ කළා.
මම මේ ගැන සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් සකස් කර එය ලියාපදංචි තැපෑලෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙනවා.
එහි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පහක් හයක් වගේ ඉන්නවා. දෙමළ ජාතික සන්ධානයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ කිසිවකුත් මෙයට අයත් නැහැ. ඉතුරු සියල්ලම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ පොහොට්ටුවේ පිරිසක්.
මේ පිරිස අතර කොකේන් ගෙන්වන අය ඉන්නවා. හිටපු කැබිනට් ඇමැතිවරු, හිටපු රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ අධීක්ෂණ මන්ත්‍රීවරු මේ අතර ඉන්නවා.
මේ සියලුම අයගේ නම් මේ වනවිට මම කතානායකවරයාට වාචිකව කියලා ඉවරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලට බාධාවක් නොවෙන්න අවශ්‍ය අනිකුත් ස්ථානවලටත් මම මේක යොමුකරනවා ” යනුවෙන් එහිදී ඔහු සදහන් කරනු ලැබීය.