FAST NEWS

24×7 Around the Globe

ඊශ්‍රායෙලයේ වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිටුවහල් කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) ජෙරුසෙලම , නාසරෙත් ඇතුළු ඊශ්‍රායලයේ ජේසු උපත සිදුවූ ස්ථාන නැරඹීම සහ වන්දනා කිරීම සඳහා ඊශ්‍රායෙලය වෙත ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බැතිමතුන් පිරිසක් එරට රජය මගින් පිටුවහල් කර ආපසු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබේ.
ඊශ්‍රායෙලයේ ආගමන – විගමන නීති සහ රෙගුලාසි මත මෙම පිරිස මෙසේ පිටුවහල් කළ බව එරට රජය දන්වා එවා තිබේ.
නමුත් මෙම පිරිස නීත්‍යානුකූලව ඊශ්‍රායලයේ සංචාරය සඳහා ගොස් ඇති බව විමර්ශන කරන කටුනායක ගුවන් තොටුපළ ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් නිරීක්ෂණය කර තිබේ.
අදාළ පිරිසෙන් 43 ඊයේ දිනයේත්, තවත් 10 දෙනෙක් අද දිනයේත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර තවත් 18 දෙනෙකු අද (21) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත එසේ පිටුවහල් කර එවන බවට ඊශ්‍රායෙල රජය විසින් දන්වා තිබේ.
කටුනායක ගුවන් තොටුපළ සහකාර පාලකවරයාගේ උපදෙස් පරිදි මෙම පිරිස පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාර දී තිබේ .