FAST NEWS

24×7 Around the Globe

ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීම පාර්ලිමේන්තු විවාදයකින් පසුව.

එක්‌සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක්‌ව පිහිටුවීමට නියමිත ජාතික ආණ්‌ඩුවේ ඇමැති මණ්‌ඩලය ලබන මස (සැප්තැම්බර්) 2 දා දිවුරුම් දෙන බවට ප්‍රකාශ කළද එය නැවතත් එම මස 4 වැනිදාට කල් දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු විසින් තීරණය කර තිබේ.

ජාතික ආණ්‌ඩුවේ ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීමට පෙර ආණ්‌ඩුව සහ ඇමැති මණ්‌ඩලය සම්බන්ධව එක්‌ දිනක පාර්ලිමේන්තු විවාදයක්‌ අවශ්‍ය බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අගමැතිවරයාගෙන් ඉල්ලා ඇති බැවින් එම විවාදය ලබන 03 වැනිදා පවත්වා ඊට පසුදා නව ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීමට නියමිතය.

නව පාර්ලිමේන්තුව ලබන මස පළමු වැනිදා රැස්‌වීමට නියමිත අතර එදින කථානායක, නියෝජ්‍ය කථානායක ඇතුළු සෙසු තනතුරු සඳහා සම්මුතියෙන් යුතුව මන්ත්‍රීවරුන් තෝරාපත්කර අනතුරුව රටේ ඉදිරි සැලසුම් සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ප්‍රකාශයක්‌ කළ පසුව පාර්ලිමේන්තුව 3 දා දක්‌වා කල් දැමීමට නියමිතය.

ඉන් පසුව 3 දා මේ විවාදය පවත්වා ඊට පසුදින (4 දා) නව අමාත්‍ය මණ්‌ඩලය ජනාධිපතිවරයා ඉදිරිපිටදී දිවුරුම් දීමට නියමිතය. නව අමාත්‍යාංශයන්ට අදාළ විෂයන් දින 08 ක්‌ ඇතුළත ගැසට්‌ මගින් ප්‍රකාශයට පත් කිරීමටද තීරණය කර තිබේ.