FAST NEWS

24×7 Around the Globe

සන්ධානයේ මන්ත්‍රී 96න් 70ක් ජාතික ආණ්ඩුවට කැමති බව එස්.බී කියයි.

සන්ධානයට ලැබුණු මන්ත්‍රීධුර 96න් 70ක් පමණ ජාතික ආණ්ඩුවට කැමැත්ත පළ කර ඇතැයි හිටපු අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.
ශ්‍රීලනිප මූලස්ථානයේදී අද පෙරවර‍ැවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

ජාතික ලැයිස්තුවෙන් පරාජිතයින් තෝරාගැනීම සම්බන්ධයෙන් ද ඔහු අදහස් දක්වමින් කියා සිටියේ මහින්ද සමරසිංහ මෙන්ම තමන්ද මීට පෙර පැවැති මැතිවරණවලදී මනාප විශාල සංඛ්‍යාවක් ගත් අය බවයි.

එසේම පක්ෂය විසින් ගනු ලැබූ තීරණයකට අනූව ජාතික ලැයිස්තුවෙන් යළි මන්ත්‍රීධූර හිමිව ඇති බවද ඔහු කියා සිටියේය.

එම මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේ වත්මන් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ හා ප්‍රතිපත්ති ජාත්‍යන්තරයේ පැසසුමට ලක්ව ඇති බවයි.

වත්මන් ජනාධිපතිවරයා සියලු රටවල් සමග මිත්‍රශීලී, මධ්‍යස්ථ සබඳතාවයක් පවත්වාගෙන යන බවත්, එය ඉදිරි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට විශාල වාසි සහගත තත්ත්වයක් උදාකරනු ඇති බවත්, ඒ මහතා පැවසීය.

මානව හිමිකම් උල්ලංඝණය වීම ගැන විමර්ශනයක් සඳහා දේශිය යාන්ත්‍රණයකට ජාත්‍යන්තරයේ සහාය පළ වීම අගය කළ යුතු බවද ඔහු පෙන්වාදුන්නේය.

පවත්නා වාතාවරණය යටතේ මේ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සාර්ථක අයුරින් දිනා ගනිමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර ජාතික ආණ්ඩුවක් නිර්මාණය වන්නේ පක්ෂ තුළින් නොව පාර්ලිමේන්තුව තුළින් බව මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රිලනිපයේ වැඩ බලන මහලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය.

හිටපු ජනපතිගේ භූමිකාව කුමක්දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට දුමින්ද දිසානායක මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා විධායක බලතල දැරූ හිටපු ජනපතිවරයෙකු බවත්, ඔහුගේ ඉදිරි භූමිකාව ඔහුගෙන්ම ඇසිය යුතු බවත්ය.

දිවිත්ව පුරවැසිභාවය හිමි අයට පාර්ලිමේන්තුවට පිවිසීමට ඉඩදෙනවාද යන්න නීතිපතිවරයාගේ මතය විමසන බවද ඔහු කීවේය.

ශ්‍රීලනිපයේ 62 වැනි සංවත්සරය ලබන මස 2 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද ඊට හිටපු ජනපතිටත් ආරාධනා කර ඇතැයිද හෙතෙම පැවසීය.

එම මාධ්‍ය හමුවට  තිලංග සුමතිපාල මහතා ද එක්ව සිටියේය.