FAST NEWS

24×7 Around the Globe

පසුගිය අධ්‍යයන වර්ෂයට සරසවි පුරප්පාඩු 2000 ක්..

නව අධ්‍යයන වර්ෂය (2018- 2019) සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව අයැදුම් පත් කැඳවා ඇතත් පසුගිය අධ්‍යයන වර්ෂයට (2017- 2018) අදාළව විවිධ පාඨමාලාවන්හි ශිෂ්‍ය පුරප්පාඩු දෙදහසකට ආසන්න ප‍්‍රමාණයක් තවදුරටත් පවතින බව වාර්තා වේ.
මෙම පුරප්පාඩු පිරවීම සඳහා හොඳටම හැකියාව තිබියදීත් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඒ පිළිබඳ නොසැලකීම අපරාධයක් බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දෙති.
වැඩිම පුරප්පාඩු ප‍්‍රමාණයක් පවතින්නේ විද්‍යා පීඨයන්හි වන අතර විද්‍යාපීඨවලට සුදුසුකම් ලබන සිසුන් වෛද්‍ය පීඨයට ඇතුළත් වීමේ අපේක්‍ෂාවෙන් යළිත් විභාගයට පෙනී සිටින බවද එම තත්ත්වය මත එම පීඨයන්හි පුරප්පාඩු ඇති වන බවද ඒවායේ මහාචාර්යවරු පවසති.
සෑම වසරකම මෙම තත්ත්වය දක්නට ලැබෙන නමුත් ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඊට පිළියම් යෙදීමට කටයුතු නොකරන බවද ඔවුහු සඳහන් කරති.
පෙර වසරේදී නව වතාවක් පුරප්පාඩු පිරවීම සඳහා ප‍්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කළ නමුත් පසුගිය වර පුරප්පාඩු පිරවීමට කටයුතු කර ඇත්තේ පස් වරකදී පමණක් යැයි ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු සඳහන් කළහ.
කුමන හෝ පාඨමාලාවකට ඇතුළත් වීම සඳහා සිසුන් විශාල පිරිසක් අපේක්‍ෂා කරන බැවින් තවත් වට කිහිපයක් පුරප්පාඩු පිරවීම සඳහා කි‍්‍රයාත්මක කිරීම සාධාරණ බවද ඔවුහු පවසති.