ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ යෝජනාව අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරිමට රජය තීරණය කර ඇති බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) රාත්‍රියේ පැවති සාකච්ඡාවකදී එම එකගතාවයට එළැඹ තිබේ.
ඊයේ (06) පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම යෝජනාව අද ඉදිරිපත් කිරීමට විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම් විරෝධය පළ කර සිටියේය.
ඒ අනුව ස්ථාවර නියෝග අත්හිටුවා මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට යාමෙන් උද්ගතවිය හැකි ගැටලු සලකා බලා යෝජනාව ඉදිරිපත් නොකිරීමටයි එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව සභානායකවරයා පැවසීය.
එමෙන්ම අනෙකුත් පක්ෂ සහ කථානායකවරයාද සමග සාකච්ඡා කර මීලග පාර්ලිමේන්තු සතියේදී ජාතික ආණ්ඩු යෝජනාව ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩි දුරටත් සඳහන් කළේය.








