FAST NEWS

24×7 Around the Globe

ලැබූ නිදහසේ උපරිම අර්ථය සාක්‍ෂාත් කර ගැනීමට කැපවෙමු – ජනපති

මේ මොහොතේ අප සියලූ දෙනාගේ ඒකායන අරමුණ වියයුත්තේ ලැබූ නිදහසේ උපරිම අර්ථය සාක්‍ෂාත් කරගැනීම සඳහා නව දැක්මකින්, අභිනව ජවයකින් සාමූහිකව කැපවීම බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා නිදහස් දින පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

ජනාධිපතිවරයා නිකුත් කළ එම නිදහස් දින පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

පුරා 133 වසරක් බි‍්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවැති ශ‍්‍රී ලංකාව, ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූ දිනය හැම වසරකම පෙබරවාරි 4 වැනිදා මෙසේ උත්සවශ‍්‍රීයෙන් අනුස්මරණය කරනු ලැබේ. එහෙත් මේ මොහොතේ අප සියල්ලන්ගේ ඒකායන අරමුණ විය යුත්තේ ලැබූ නිදහසේ උපරිම අර්ථය සාක්‍ෂාත් කර ගැනීම පිණිස නව දැක්මකින්, අභිනව ජවයකින් සාමූහිකව කැපවීමයි.

අතීත රජ දවස ලොව අන්‍ය මහා ශිෂ්ටාචාරයන් විසින් ඉටුකර ගැනුණු කාර්ය සාධනයන්, ඒ හා සමාන සාර්ථකත්වයකින් අපටද සපුරාගත හැකිවූයේ ඒ කිසිවකට ණයගැති වීමෙන් නොවේ. ස්වාධීන වීමෙනි. අපි අපේම ජාතික අනන්‍යතාවක් මුල සිටම ගොඩනඟාගත් මිනිස්සු වෙමු. එහෙයින් දේශීය ආර්ථිකයේ පදනම ලෙස කෘෂිකර්මාන්තය ස්ථාපිත කළ යුතු කාලය යළි එළැඹ ඇති වග මේ අනුස්මරණීය දිනයේ මම ඔබ සැමට අවධාරණය කරනු කැමැත්තෙමි.

එසේම ජාතික පුනර්ජීවනය ඇති කිරීමේලා අත්‍යවශ්‍ය වන ප‍්‍රගතියට එරෙහිව සිටින පොදු සතුරා වන දුගී භාවය සහ ¥ෂණය වහා මුලිනුපුටා දැමීමට අප සියල්ලන් එක්සිත්ව කටයුතු කළ යුතුව ඇත.

අධිරාජ්‍යවාදී පාලන සමයේ සිටම ජාතික ස්වාධීනත්වය වෙනුවෙන් කැපවූ, දිවි පි¥ සියලූ වීරවරයන් මේ මොහොතේ ගෞරව බහුමාන පෙරදැරිව සිහිපත් කරන අතර, වර්තමානයේ දේශයේ නිදහස, ස්වෛරීත්වය සුරක්‍ෂිත කිරීමට දිවි හිමියෙන් කැපවී සිටින සියලූ රණවිරුවන්ට කෘතඥතාපූර්වකව ශුභාශිංසනය කරමි.

සියලූ දේශපාලන පාර්ශවයන්ටත්, අපටත්, ඔබ සැමටත් තිර අදිටනින්, සමගිව දිනූ නිදහසේ යහ අරමුණු සපුරාගනු පිණිස සමගිව පෙරට යෑමට හැකිවේවා යි මේ නිදහස් සමරු දිනයේ ප‍්‍රාර්ථනය කරනු කැමැත්තෙමි.