FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව 2018 දී ලාබ ලබයි.

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව 2018 මුදල් වර්ෂයේදී රුපියල් මිලියන 61.43ක් හෙවත් ශුද්ධ ලාබයක් ලබා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එය 2017 මුදල් වර්ෂයට සාපේක්ෂව සියයට 19.3%ක වර්ධනයක වන අතර 2017 මූල්‍ය වර්ෂයේදී රුපියල් මිලියන 51.5ක ලාබයක් ලබාගෙන තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ගතවූ වසර කිහිපය තුළ අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීමට සමත්ව ඇති බව එම අමාත්‍යංශය පෙන්වා දෙයි .

සංස්ථාවේ සමස්ත ආදායම 2018 මුදල් වසරේදී රුපියල් මිලියන 4334.1 ක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 15.6%ක වර්ධනයක් ඇත.

විකුණුම් පිරිවැය රුපියල් මිලියන 3545.6කි. ආයතනයේ පරිපාලන වියදම රුපියල් මිලියන 495.4කි. 2018 මූල්‍ය වර්ෂයේදී බදු ලෙස රජයට ගෙවා ඇති මුදල රුපියල් මිලියන 20.8කි.

1971 වර්ෂයේදී ඇරඹි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ ප්‍රදර්ශනාගාරය ඇතුළුව නාරාහේන්පිට මෙගා, අනුරාධපුර, යාපනය, මහනුවර, මාතර, පොළොන්නරුව, කුරුණෑගල, සායින්තමරුදු, යන නගරවල ප්‍රදර්ශනාගාර නවයක් පවත්වාගෙන යයි.

මේ වසරේදී ගාල්ල සහ ත්‍රිකුණාමලය නගරවල නව ප්‍රදර්ශනාගාර දෙකක් විවෘත කිරීමට සැලසුම් කර තිබේ. කාර්යාල ලිපි ද්‍රව්‍ය, ගෘහ විදුලි උපකරණ, කෘෂිකාර්මික හා කාර්මික යන්ත්‍රෝපකරණ, බැටරි, ටයර්, තොරතුරු තාක්ෂණික හා පරිගණක, පරිගණක උපාංග, රසායනික අමුද්‍රව්‍ය, වායුසමීකරණ, සහ විද්යුත් උපකරණ ඇතුළු අලෙවි සේවා රැසක් සපයමින් පෞද්ගලික අංශය සමග කරට කර තරඟයකින් තම වෙළෙඳපොළ දිනෙන් දින ප්‍රවර්ධනය කර ගනිමින් පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවයක් ලබා දෙමින් සිටියි.