ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන හර්ෂ විජේවර්ධන මහතා විපක්‍ෂ නායක වැඩබලන ලේකම් ධුරයට පත් කිරීමට ඊයේ (22) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.
ලබන අප්‍රේල් මස 06 වැනිදා දක්වා විජේවර්ධන මහතා වැඩබලන පදනම මත විපක්‍ෂ නායක ලේකම් ධුරයෙහි කටයුතු කිරීමට නියමිත අතර එයින් පසු ඔහු එම තනතුරෙහි ස්ථීර කිරීමටද කැබිනට් අනුමැතිය හිමිව ඇති බව පැවසේ.
මෙතෙක් විපක්‍ෂ නායක ලේකම් ධුරයෙහි කටයුතු කළ දීපිකා සුබසිංහ මහත්මිය මේ වන විට විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ලබන අප්‍රේල් 06 වැනිදා සිට විශ්‍රාම යෑමට නියමිතව සිටින නිස බවද වාර්තා වේ.
හර්ෂ විජේවර්ධන මහතා ඔක්තෝබර් 26 වැනිදා ආණ්ඩු මාරුවෙන් පසු අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතිරේක ලේකම්වරයා වශයෙන්ද කටයුතු කර ඇත.
ඊට අමතරව නීතිඥ චමින්ද කුලරත්න මහතා විපක්‍ෂ නායක අතිරේක ලේකම් ධුරයට පත් කිරීමටද ඊයේ කැබිනට් අනුමැතිය හිමිව තිබේ.








