මේ වන විට මෙරට බෝග වගාවන් ආක්රමණය කරමින් සිටින සේනා දළඹුවා මැඩලීම සඳහා යුද්ධයකට මුහුණදෙන ආකාරයේ සමාන කැපවීමකින් සහ කාර්යක්ෂමව කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබේ.
ඒ අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීයි.
පවතින තත්ත්වය පාලනය කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ජනාධිපති කාර්ය සාධන බළකායක් ද පිහිටුවීමට පියවර ගෙන ඇත.
රාජ්ය සහ පෞද්ගලික ක්ෂේත්රයේ කෘෂි පර්යේෂණ අංශවල සහ ක්ෂේත්ර නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සේනා දළඹු උවදුර මැඩලීම පිළිබඳ ගොවි සංවිධාන හා ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්රියාවට නැංවීමට ද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී ඇත.








